කටුනායක ගුවන්තොටුපළේ මගී තදබදයක්

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට සහ ගුවන් සේවා සමාගම් වෙත ආසියාවේ අවම පහසුකම් ඇති ගුවන් තොටුපළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.
ලෝක බෝරාවරුන්ගේ 2019 වාර්ෂික ආගමික උත්සවය, ශ්‍රී ලංකාවේ බම්බලපිටිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය මුල් කරගෙන ඉකුත් අගෝස්තු මස 31 වනදා සිට සැප්තැම්බර් මස 09 දා දක්වා පැවති අතර, එයට සහභාගීවීම සදහා විදේශ රටවල් 40කට අයත්, බෝරාවරුන් 21,000කට වඩා වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන්ගේ පැමිණීමත් සමග කටුනායක ගුවන් තොටුපළ තුළ දැඩි මගී තදබදයක් ඇති විය.
මේ වනවිට මෙම ආගමික උත්සවයට සහභාගීවීමට පැමිණි පිරිස්, යළිත් ආපසු ගම රට බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටින අතර, ඒ නිසා යළිත් ගුවන් තොටුපළ තුළ මගී තදබදය උත්සන්න වී පවතී.
මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකුගෙන් විමසූ විට, ඉහත ප්‍රකාශය ඔහු විසින් සිදු කළ අතර, තවදුරටත් මෙසේ ද පැවසීය.
මෙම ගුවන් තොටුපළ ඉදි කළ මුල් කාලයේ ගුවන් මගීන් හය ලක්ෂයකට පහසුකම් සැපයීම සදහා ගොඩ නගා තිබුණ ද, වර්තමානයේ මේ වනවිට ගුවන් මගීන් දොලොස් ලක්ෂයක් පමණ මෙම ගුවන් තොටුපළ ඔස්සේ ගමන් කරමින් සිටිනවා.
එහෙත් මෙසේ වැඩි වූ මගීන්ට සාපේක්ෂව, ප්‍රමාණවත් පරිදි ගුවන් තොටුපළ තුළ පහසුකම් වැඩි වී නැහැ.
ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ගුවන් සේවා සමාගම් කවුළු 60 කින් පැමිණෙන ගුවන් මගීන්,
ආගමන විගමන දෙපාර්තමේන්තු විගමන කවුළු 19 කින් පමණක් පරීක්ෂාවකට ලක් කිරීමේ දී, අනිවාර්යයෙන්ම මගී තදබදයක් ඇති වෙනවා.
එහිදී මෙම මගීන් සහ ඔවුන්ගේ ලිපි ලේඛන 100% ක් ම පරීක්ෂා කළ යුතු වන අතර, එතෙක් රැදී සිටීමට ඇත්තේ වර්ග අඩි 2,500ක් තරම් කුඩා භූමි ප්‍රමාණයකි.
එමෙන්ම පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු ආගමන කවුළු 27 ක් තිබෙන අතර, එහි ගුවන් මගීන්ට රැදී සිටීමට ඇත්තේ වර්ග අඩි 4,000 ක තරම් ප්‍රමාණවත් නොවන සීමිත ඉඩකඩ ප්‍රමාණයකි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් තොටුපළ තුළ ද මගීන්ට පැය ගණන් රැදී සිටීමට සිදු වුවත්, එහි ඇති ප්‍රමාණවත් ඉඩකඩ සහ පහසුකම් නිසා එම ගුවන් මගීන් අපහසුතාවට පත් නොවී සිටීමට හේතු වී තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එනිසා මෙම ගුවන් තොටුපළ තුළ ද එක් පර්යන්තයකට වර්ග අඩි 8,000ක තරම් ඉඩකඩ වෙන්කිරීමක් මෙම මගී තදබදය අවම කිරීම සදහා වෙන් කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගත යුතු බව ද මෙම ප්‍රකාශකවරයා සදහන් කළේය.
එමෙන්ම කටුනායක ගුවන් තොටුපළ තුළ ඉතා හොද මට්ටමෙන් සේවා සැපයීමට නම් ආගමන විගමන නිලධාරීන් 600ක තරම් සේවක පිරිසක් ද අවශ්‍ය වෙනවා.
එහෙත් දැනට සේවා මුර දෙකක් වශයෙන් දිවා කාලයේ පැය 08 කාලය කුත්, රාත්‍රී කාලයේ පැය 16කුත් වශයෙන්, එක් සේවා මුරයකට නිලධාරීන් 50 බැගින් සහභාගී වෙනවා.
ඒ එක් සේවා මුරයක දී  අවම වශයෙන් නිලධාරීන් 05ක් වත් අත්‍යාවශ්‍ය හේතු මත නිවාඩු ලබා ගන්නවා. එවිට ඉතිරි වන නිලධාරීන් 45 දෙනාගෙන්, තවත් 05ක් පමණ ගුවන් තොටුපළ විවිධ රාජකාරී සදහා යොමු වූ විට, එක් පර්යන්තයක රාජකාරී සදහා ඉතිරි වන්නේ 20ක පමණ නිලධාරීන් සංඛ්‍යාවක් පමණක් වීම කනගාටුදායක කටයුත්තක් බවද හෙතෙම සදහන් කළේය.
මෙයට පිළියමක් ලෙස අවම වශයෙන් තවත් සේවකයින් 250ක් වත් නව බදවා ගැනීම් යටතේ සිදු කරන ලෙස, වරින් වර රජයෙන් ඉල්ලීම් කීප වරක් ම සිදු කළත් ඒවා මෙතෙක් පළ දරා නොමැති බවද  සදහන් කළේය.
මේ නිසා මෙවැනි පසුබිමක් යටතේ, මෙවැනි විශේෂ අවස්ථා වල දී  කටුනායක ගුවන් තොටුපළ තුළ මගී තදබදයක් ඇති වීම වැලක්විය නොහැකි බව මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave A Reply

Your email address will not be published.