රනිල්ගේ ඉල්ලීම විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප කරයි

ජනාධිපතිවරණයේදී ක්‍රියා කළ යුතු අන්දම පිළිබදව තම පක්ෂයට පමණක් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව දෙමළ ජනතා සන්ධානය හෙවත් ටී.එම්.කේ.පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන් මහතා ඊයේ (20) යාපනයේදී පැවසිය.

විග්නේස්වරන් මහතා සදහන් කළේ ජනාධිපතිවරණයේදී ගත හැකි තීන්දු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට ආරාධනයක් කොට ඇති බවයි.

නමුත් තම පක්ෂයට පමණක් එසේ සාකච්ඡා කිරීමට අවශ්‍ය  නැති නිසා තමන් ඒ ඉල්ලීම ප්‍රතික්ශේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුව වෙනුවෙන් විසදුම් ඉල්ලීම ඇතුළු යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින් වෙත ලබාදීමට සුදානම් කොට ඇති බැවින් අදාළ සියලු පක්ෂ එක්ව සිදුකරන සාකච්ජාවක් වෙනුවෙන් පමණක් තම පක්ෂද එක්වන බවට එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම්දුන් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් කරුණු 13 කින් යුත් යෝජනාවලියක් සකස් කොට ඇති අතර, ඒ සම්බන්ධයෙන් කණ්ඩායම වශයෙන් පමණක් සාකච්ජා කිරිමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් මහතා පැවසුවේය.

විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලැබෙන අදාළ යෝජනාවලිය වෙනුවෙන් එකඟතාවය ප්‍රකාශ කරන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් දෙමළ ජනතාව ජන්දය ලබාදිය යුතු බව තමන් විශ්වාස කරන බවයි.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ මහජන පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා විසින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් පසුගියදා අත්සන් කිරීම සිදුකෙරිණ.

 

Leave A Reply

Your email address will not be published.