ඉරාක අගමැති ඉල්ලා අස්වන බවට නිවේදනයක්

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් එරට වත්මන් පාලනයට දැඩි පීඩනයක් එල්ල වීමත් සමඟ ඉරාක අගමැති ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇත.

සති කිහිපයක් පුරා පැවැත්වුණු විරෝධතා වලින් පසුව ඉරාක අගමැති ආදෙල් අබ්දුල් මහදි  සිය තනතුරින් ඉල්ලා අස්වන බවට නිවේදනය කර ඇත.

නව රජයක් තෝරා ගැනීමට නීති සම්පාදකයින්ට ඉඩ දීම සඳහා තමාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අගමැතිවරයා කියා සිටියේය.

මේ අතර ඉරාකයේ දකුණුදිග නසිරියා නගරයේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර විරෝධතාකරුවන් එහි පොලිස් මූලස්ථානයට කඩාවැදීමට උත්සහ කර තිබුණි.

එම අවස්ථාවේ විරෝධතාකරුවන් ඉලක්ක කර ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 21 දෙනෙකු මියගොස් තවත් 90 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

දූෂිත පාලන තන්ත්‍රයට එරෙහිව ඔක්තෝම්බර් මස මුල් භාගයේ මෙම විරෝධතා ආරම්භ වීමෙන් අනතුරුව මේ ගෙවී යන්නේ  ලේ වැගිරීම් සහිත බිහිසුණු කාල පරිච්ඡේදයක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

විරෝධතා හේතුවෙන් 400කට අධික පිරිසක් මියගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.