ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කරවා ගැනීමට කටයුතු කළ යුතුයි – අඩෙයිකලනාදන්

ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 53 දෙනා නිදහස් කරවා ගැනීමට මේ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වල් අඩෙයිකලනාදන් මහතා ඊයේ (1) පැවසීය.

වවුනියාවේ පිහිටි ටෙලෝ කාර්යාලයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය නිමිත්තෙන් මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින්  පිරිසක් ශ්‍රී ලංකා රජය මගින් නිදහස් කරනු ලැබූවත් ඉන්දියාව ඊට පෙරළා ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.

මේ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්ව ඉන්දීය අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින් හා ඔවුන්ගේ බෝට්ටු නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතු බව ‍ටෙලෝ පක්ෂනායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසයි.

අඩෙයිකලනාදන් මහතා වැඩිදුරටත් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයා හා ජනාධිපතිවරයා හමුවි සහයෝගීතාවය ගොඩනඟා ගැනීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක ඉන්දීය අත්අඩංගුවේ පසුවන උතුරේ ධීවරයින් නිදහස් කර ගැනීමට බාධාවක් නොමැති බවයි.

ජනාධිපතිවරයා ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට පෙර උතුරේ ධීවර සංවිධාන ගණනාවක් එක් වී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දෙරටේ ධීවර ප්‍රශ්න සම්බන්ධයෙන් ලිපියක් යොමු කරන ලද නමුත් ඒ ලිපියේ වූ ඉල්ලීම් පිළිබදව  නායකයින් දෙදෙනාම කිසිවක් සාකච්ඡා නොකිරීම කණගාටුවට කරුණක් බවද  මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ආරාධනයට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙනු ඇතැයි කී මන්ත්‍රීවරයා ඒ පැමිණිමට පෙර මේ උතුරේ ධීවර ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කොට යම් තීරණයකට පැමිණිය යුතුව ඇති බවද සදහන් කළේය.

උතුරේ ධීවර ජනතාවගේ අදාළ ගැටළුව විසදා ගැනීමට ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

 

Leave A Reply

Your email address will not be published.