මිලියන 29ක ප්‍රතිපාදන යටතේ ඉදි වු දුන්කලහේන නව පාලම ජනතා අයිතියට

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පාලම් ව්‍යාපෘතිය යටතේ දුන්කලහේන ප්‍රධාන මාර්ගයේ නෝනාවත්ත ඇල මාර්ගය හරහා මිලියන 29ක ප්‍රතිපාදන යටතේ ඉදි කළ නව පාලම විවෘත කිරීම අද(26) දින උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ 2020 වර්ෂය   වැඩකරන , රට ගොඩනගන රටක් බවට පත් කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව රජය විසින් කටයුතු කරන බවයි. මෙහිදී බිම් මට්ටමේ සිටම කිසිදු භේදයකින් තොරව රටේ දියුණුවට හා ජනතාවගේ සුබසාධනයට ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ අමාත්‍යවරයා උදාහරණයක් ලෙස ගණනින් 1400 ක් වන ලංකාවේ සෑම ග්‍රාම නිලධාරි වසමකටම මෙම වසර තුළ සුළු පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 20 ක් බැගින් ලබාදෙන බව ප්‍රකාශ කළේය. එමෙන්ම, ලංකාවේ සියලු ප්‍රදේශ වල ජනතාවගේ දිළිඳු බව පිටුදකිමින් ශ්‍රම බලකායද ශක්තිමත් කිරීම සඳහා අඩු ආදායම් ලාභී පවුල්වල රැකියා විරහිත පුද්ගලයින් සඳහා රැකියා ලක්ෂයක් ලබා දෙන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. මේ මගින් ශක්තිමත් කාර්ය බල පිරිසක් බිහිවන බවත් ඊට අමතරව රැකියා විරහිත උපාධිධාරීන්ටද කිසිදු භේදයකින් තොරව රැකියා ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අවස්ථාවට රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය දුන්කලහේනේ රතනරංසි හිමියන් ප්‍රධාන, හිටපු කැබිනට්
අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියල් අද්මිරාල්
සරත් වීරසේකර, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන අයි.ඩී.සිසිර කුමාර, ආනන්ද රූපසිංහ මහතා
ඇතුළු ප්‍රදේශවාසීහූ රැසක් එක්වූහ.

 

Leave A Reply

Your email address will not be published.