ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත්කල ලාංකිකයෙකු අත්අඩංගුවට

කූඨ ලේඛන ඉදිරිපත් කර , ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික තරුණයෙකු අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි. ඔහු අද අලුයම 3.10 ට කටාර්  ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයට , ඉතාලිය හරහා පෘතුගාලය වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු මුලින්ම ඉතාලියේ මල්පෙන්සා නුවර බලා පිටත්ව යෑම සදහා ගුවන් සේවා කටයුතු නිශ්කාශනය කර ගෙන , ගුවන් තොටුපළ විගමන අංශය වෙත පැමිණ තිබේ .
එහිදී ඔහු ඉදිරිපත් කළ පෘතුගාල වීසා බලපත්‍රය , ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නොවන අයුරින් සකස් කළ , ව්‍යාජ එකක් බව එහි සේවය කළ නිලධාරීන්ට අවබෝධ විය .
එම නිලධාරීන් වහාම මෙම තරුණයා ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ , එහිදී මොහු ඉදිරිපත් කළ වීසා බලපත්‍රය , ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකය යොමු කිරීමට පියවර ගැනුනි . එහිදී මෙම වීසා බලපත්‍රය තාක්ෂණික වශයෙන් ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලියවිල්ලක් බව තහවුරු විය .
ඉන්පසුව මෙම තරුණයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කළ අතර , එහිදී පෘතුගාලයේ සිටින තම ඉන්දීය ජාතික මිතුරෙකු , තමාට එරටට පැමිණීම සදහා උදව් කරන බව පැවසීය.
පසුව මෙම තරුණයා අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට භාර දීමට පියවර ගෙන තිබේ .

Leave A Reply

Your email address will not be published.