කෝටි 10 රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 10 රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(14) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් ඊයේ සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ යාත්‍රාව හඹා ගොස් එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් පළා යාමට උත්සාහ කරන අවස්ථාවේ රත්‍රං පාර්සලක් මුහුදට දැමූ බව ප්‍රකාශ කර තිබෙනවා.

එලෙස සොයා ගන්නා ලද පාර්සලය තුළ රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 35 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් 27 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි.

ඔවුන් දෙදෙනා සහ අදාළ යාත්‍රාව කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.