දඹදිව සිට පැමිණි පිරිස ස්වයං නීරෝධායනය සඳහා නිවෙස් වෙතට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (19) අලුයම 4.00 ට ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් සදහා වසා දමනු ලැබීය.
එසේ වසා දැමීමට පෙර ගුවන් තොටුපළ වෙත අවසාන වශයෙන් පැමිණි ගුවන් යානය වූයේ අද (19) අලුයම 3.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානයයි.
එම ගුවන් යානයේ ගුවන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර, ඔවුන් අතරින් වැඩි පිරිසක් දඹදිව වන්දනා චාරිකාවල නිරත වූවන්ය. ඔවුන් සියලු දෙනා තම නිවෙස් වලම ස්වයං නීරෝධායන කටයුතු සදහා ගුවන් තොටුපළ බලධාරීන් විසින් යොමු කර තිබේ.
ඒ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු රැගෙන, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය අද (19) දහවල් 12.15 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් ගමන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත සංවිධානය කර තිබුණි.
මෙම ගුවන් යානයෙන් පැමිණි සියලු ගුවන් මගීන් නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකාව පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 16 ක් වෙත යොමු කර තිබේ.
ඒ අනුව මාර්තු 10 දින අලුයම 4.00 සිට අද (19) පස්වරු 2.00 දක්වා කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 2,627 ක් මෙලෙස නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් ගමන් රාශියක් අවලංගු කර සහ සංශෝධනය කර ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර විස්තර විමසීම සදහා www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ 0197331979 හෝ 1979 යන දුරකථන අංක ඔස්සේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙස දන්වා සිටී.

Leave A Reply

Your email address will not be published.