ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT)

IIT විලාසිතා නිර්මාණකරණ උපාධි වැඩසටහන දියත් කිරීම 2018 අගෝස්තු 7

ශ්‍රී  ලංකාවේ ප්‍රථම වරට විලාසිතා ව්‍යාපාර කළමණාකරණ ශ්‍රාස්ත්‍රපති උපාධි වැඩසටහනක් වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය හා එක්ව IIT විසින් හඳුන්වා දෙයි.

ප්‍රථම කණ්ඩායම සඳහා වසර දෙකක අර්ධකාලීන උපාධි  වැඩසටහනක් ලෙසින් සැප්තැම්බර් මස ඇරඹෙයි.

මෙරට බ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛතම ආයතනය වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින්  එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය (UOW) හා එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විලාසිතා ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ව්‍යාපාර කළමණාකරණ ශ්‍රාස්ත්‍රපති උපාධි වැඩසටහනක් (MA Fashion business Management) දියත් කරයි.

එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ  (UOW) ඓතිහාසික සම්ප්‍රදායන් අනුව යමින් නව උපාධි වැඩසටහන් වර්ධනය කිරීම ඔස්සේ  නිර්මාණාත්මක කර්මාන්තකරණයට සුදුසුකම් ලත් උපාධිධාරීන් පිරිසක් බිහිකිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙයි.  දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විහිදී පවතින විලාසිතා කර්මාන්තයේ ව්‍යාපාර කළමණාකරණය සඳහා සුදුසුකම් ලත් සිසුන් පිරිසක් බිහිකිරීම මෙමගින් සිදුකෙරෙයි. වේගයෙන් ව්‍යාප්ත වන විලාසිතා කර්මාන්තය තුළ ව්‍යාපාරික දෘෂ්ඨියක් ගොඩනගාගැනීම සහ ව්‍යවසායකයෙකු තුළ තිබිය යුතු ගැටළු නිරාකරණය කිරීමේ කුසලතාව, නායකත්වය, සහ උපක්‍රමීය තීරණ ගැනීම ආදී අංශ රැසක් කෙරෙහිද මෙම උපාධි පාඨමාලාවේදී අවධානය යොමු වීම විශේෂ කරුණකි.  මේ සඳහා සහභාගි වන සියලුම දේශකවරුන් උසස්තම විෂයානුබද්ධ අධ්‍යාපන සුදුසුකම් සහිත සහ ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ පළපුරුද්දක් සහිත පිරිසකි. ඒ අනුව මෙම පාඨමාලා හදාරන සිසුන්ට විලාසිතා කර්මාන්තකරණ ක්ෂේත්‍රය තුළ උසස් වෘත්තිකයින්, ප්‍රමුඛ චරිත සහ ප්‍රවීණ ගුරුවරුන් සමග කටයුතු කිරීමට අවස්ථාව සැලසෙයි. විලාසිතා ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ඇතිකරගැනීම සඳහා කුසලතා පදනම් කරගත් උසස් අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ මෙම උපාධි පාඨමාලා  පැවැත්වෙයි.

මෙම පාඨමාලාවට අදාළ විෂය නිර්දේශය විලාසිතා ව්‍යාපාරකරණයට අදාළ නවීන සංකල්ප සහ අදහස් වලින් පිරිපුන් වන අතර එමගින් විලාසිතා කර්මාන්තයේ අනාගත අභියෝග ජය ගත හැකි ව්‍යාපාරික සහ කළමණාකරණ කුසලතා වලින් හෙබි උපාධිධරයෙකු නිර්මාණය කෙරෙයි. සිය නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය කරගැනීමට මෙන්ම නිර්මාණාත්මක කර්මාන්තය තුළ මනා දෘෂ්ඨියක් ගොඩනගාගැනීම සඳහා අවශ්‍ය සියලු මග පෙන්වීම් මෙම විෂය නිර්දේශය තුළ අන්තර්ගත වෙයි. සැපයුම් ජාල කළමණාකරණය, විලාසිතා ව්‍යාපාරකරණය තුළ නව්‍යතා සහ කණ්ඩායම් ගොඩනැගීම, උපක්‍රමීය විලාසිතා ව්‍යාපාර කළමණාකරණය, විලාසිතා අලෙවි ප්‍රවර්ධන සහ සන්නාම කළමණාකරණය, විලාසිතා ව්‍යාපාර සැලසුම් සහ ව්‍යවසායකත්වය, විලාසිතා ව්‍යාපාරකරණයට අදාළ මිලදී ගැනීම්  ආදී කරුණු පිළිබඳව මෙම විෂය නිර්දේශය යටතේ උගන්වනු ලබයි. මේ වසරේ සැප්තැම්බර් මාසයේ මෙහි පළමු කණ්ඩායම බඳවාගැනීමට නියමිත අතර වසර දෙකක කාලයක් පුරා මෙම උපාධි පාඨමාලාව පැවැත්වීමට නියමිතව තිබේ.

IIT හි පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය සඳහන් කළේ විලාසිතා නිර්මාණකරණය සඳහා උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නමුත් ශ්‍රාස්ත්‍රපති උපාධිය පිරිනැමීම සඳහා ආයතනයක් නොතිබූ බව පෙන්වා දුන්නේය. එබැවින් විලාසිතා ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධි වැඩසටහනක් හදුන්වාදීමට කටයුතු කළ බවත්  එය විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ දැනුම වර්ධනය කිරීම සඳහා මෙන්ම කළමණාකරන තත්වයන්ට උසස් වීම සඳහා අත්වැලක් වනු ඇති බවත් පෙන්වා දුන්නාය. ශ්‍රී ලාකික විලාසිතා සන්නාම ජාත්‍යන්තරය වෙත ගෙනයාමට සහ තම ස්වකීය ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යවසායක ශක්තිය මෙම වැඩසටහන තුළින් ලැඛෙන බවත් ඇය පෙන්වා දුන්නාය. ඉහළ තරගකාරීත්වයක් පවතින, ඉක්මනින් අළුත් වන  විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයට පිවිසෙන සිසු සිසුවියන්ට සිය ආත්ම විශ්වාසය ගොඩනගාගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන බව ද ඇය සඳහන් කළාය.

වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් ලොව පුරා ඉහළ වෘත්තීන් වල නිරත වන අතර  ඔවුන් මේ වනවිට ලෝ ප්‍රකට සන්නාම වන Dior, Louis Vuitton, Marks &Spencer, Nordstrom, Bloomingdales, Neiman Marcus, Net a Porter, Aldo, Loro Piana, Li & Fung, Selfridges, Harrods, Arcadia Group, Dunhill, Aurora Fashions, Mothercare UK, Prada Hong Kong, Saatchi & Saatchi, Omega, Purple Tree, Hermes සහ Anthropologie ආදී   සන්නාම වර්ධනය කිරීමේ කාර්යයට උරදී සිටිති.

වර්ෂ 1990 දී පිහිටුවන ලද IIT ආයතනය ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ අංශ පිළිබඳව පිළිගත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනැමීම සඳහා මෙරට පිහිටවූ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනයයි. University of Westminster (UOW) – UK සහ Robert Gordon University යන විශ්ව විද්‍යාල සඳහා පශ්චාත් උපාධි සහ උපාධි පිරිනැමීම සඳහා මෙරට සම්මාන දිනූ ආයතනයකි. වසරින් වසර මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කුසලතා පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ උපාධිධාරීන් බිහිකරමින්  මෙරට තොරතුරු තාක්ෂණයේ වර්ධනය සඳහා IIT සිදුකර ඇති මෙහෙවර අති මහත් ය. පෞද්ගලික සහ රාජ්‍ය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙම විද්වතුන් සාර්ථක ඉංජිනේරුවරුන් සහ ව්‍යවසායකයින් බවට පත්වී සිය සේවය ලබාදෙමින් සිටියි. ලෝකය පුරා විවිධ ආයතන 250 කට අධික ප්‍රමාණයක් සඳහා උපාධිධාරීන් බිහිකිරීමට මේ වනවිට IIT සමත්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *