නව ව්‍යවස්ථාව පිළිබද නිදහස් පක්ෂයේ මතයත් මහානායක හිමිවරුන්ගේ මතයමයි – චන්දිම වීරක්කොඩි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන්ගේ මතයට සමාන බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසීය.

 

රට බෙදීමට සහ බුද්ධාගමට හිමි ස්ථානයට අහිමි කිරීමට පක්ෂය විරුද්ධ බවට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලිඛිතව දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

 

නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් දැනට අනවශ්‍ය බවට ඉකුත් දිනක අස්ගිරි මල්වතු සංඝසභාව විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

කෙසේ වෙතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සියලු මන්ත්‍රීවරුන්ට සිය අදහස් දැක්විය හැකි පරිදි මෙම මස 30,31 සහ නොවැම්බර් 01 යන දින වල පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය  අජිත් පී. පෙරේරා සදහන් කළේය.

 

එසේම නව ව්‍යවස්ථාවක් සැදීමේ ජන වරම වත්මන් රජයට තිබෙන බවත්, ව්‍යවස්ථාවක් හදන්න එපා යැයි කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා නතර කරන්නැයි කීම ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධි යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

මේ අතර ඉකුත්දා අස්ගිරි මල්වතු සංඝසභා රැස්වූයේ මහානායක හිමිවරුන්ගේ අනුදැනුම මත බව අස්ගිරි පාර්ෂවයේ ලේකම් මැදගම ධම්මානන්ද හිමියන් පැවසූහ. එසේ රැස්වූයේ දියවඩන නිලමේගේ උවමනාවට බවට ඇතැමුන් විසින් කරනු ලබන ප්‍රකාශ අසත්‍ය බවද උන්වහන්සේ පැවසූහ.

 

‘මහජන රාජ්‍ය සභාව’ විසින් ඊයේ (20) කොළඹදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදි උන්වහන්සේ මේ බව සදහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *