කඩුලු 9ක විශිෂ්ඨ ජයත් සමග කුසලානය පාකිස්ථානයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්ථාන කණ්ඩායම අතර පැවති අවසන් එක්දින තරගයෙන් පාකිස්ථාන කණ්ඩායමට කඩුලු 9ක විශිෂ්ඨ ජයක් හිමිවීය.
ඒ අනුව දෙරට අතර පැවැත්වූ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 5-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
දිවා/ රාත්‍රී තරගයක් ලෙස පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කල අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට ඇද දමමින් පාකිස්ථාන වේගපන්දු බල ඇණිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියල්ලක්ම පන්දුවාර 26යි පන්දු 2ක් තුල ලකුණු 103කට දවාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 20 සීමාව හෝ පසුකර යාමට සමත්වූයේ තිසර පෙරේරා පමණක් වන අතර සෙසු සියලු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීයාම සිදුවිය.
එහිදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 20ක්ව තිබියදී මුල්පෙළ කඩුලු 5ක් පන්දුවාර කිහිපයක් තුලදී දවාගැනීමට සමත්වූ උස්මාන් ඛාන් ලකුණු 34කට කඩුලු 5ක් දවාගත්තේය.
හසන් අලී හා ෂඩාබ් ඛාන් පිලිවෙලින් ලකුණු 19ට කඩුලු 2ක් හා ලකුණු 24කට කඩුලු 2ක් ද වශයෙන් දවාගැනීමට සමත්විය.
ඒ අනුව ලකුණු 104ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්ථාන ක්‍රීඩකයන් පන්දුවාර 20යි පන්දු 2ක් තුල කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 105ක් ලබාගනිමින් ජයග්‍රාහි සීමාව පසුකර ගියේය.
එහිදී පාකිස්ථාන ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 84ක සබදතාවයක් ගොඩනැගු අතර  ෆාකාර් ශමාන් ලකුණු 48ක් හා ඉමාම් උල් හක් නොදැවී ලකුණු 45ක්ද වශයෙන් රැස්කළේය.
තරගයේ වීරයා සම්මානය උස්මාන් ඛාන්ට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය හසන් අලීට හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *