යකඩ යකා මස් බවට පත් වෙමින් යළි යකඩ ගොඩක්ම වෙයි

බොහෝ දේ විනාශ වී යන්නේ ඒ දේ නිර්මාණය වූ දෙයින්ම බවට කතාවක් තිබේ. මහාමේරු පර්වතය පවා විනාශ වී යන යුගයක් පැමිණෙන බව බෞද්ධ සාහිත්‍යයේ සදහන් වෙයි.

මේ සියලුම දේ කැඩී බිදී වෙනස් වී යන ලෝකයක තනි යකඩයෙන් සෑදූ දේ ද විනාශ වී යන බව අමුතුවෙන් කිව යුතු නොවේ.  දුම්රියක් නිර්මාණය වන්නේ මහා යකඩ ගොඩක් එකතු වීමෙනි.

මිනිසුන් එදා සිටම දුම්රියට යකඩ යකා යනුවෙන් ආමන්ත්‍රණය කළෙත් මේ නිසාවෙනි. තනි යකඩෙන් නිර්මාණය කළත් මිනිසුන්ට දුම්රියක් විනාශ කිරීමට හැකිය. මිනිසුන් විසින් විවිධ ක්‍රම ඔස්සේ සම්පූර්ණයෙන්ම විනාශ කළ දුම්රිය සංඛ්‍යාව විශාලය.

වසර තිහක් තිස්සේම අපේ රටේ පැවති යුද්ධයේදී  විනාශ වූයේ දුම්රිය එකක් හෝ දෙකක් නොවේ.

මේ කියන්නට යන දුම්රිය දෙක  විනාශයට පත් වූයේ අතරමං වීමෙනි. යුද සමය ඒ ඒ කොටස් විසින් යුග කීපයකට බෙදනු ලැබීය .

පළවෙනි ඊළාම් යුද්ධයෙන් පසුව දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වීමට සෑහෙන කලක් ගත විණි. මේ ලද ඉසිඹුවෙන් බොහෝ දෙනෙකු දකුණෙන් උතුරට  ආහ. උතුරෙන් දකුණටද ගියහ.

1990 ජූනි මස පස් වෙනිදා හදිසියේම යුද ඉසිඹුව නොමැති වී ගියේය. එක් වරටම උතුරු නැගෙනහිර පුරා මහා යුද්ධයක් ඇවුළුණි. උතුරෙන් දකුණටත් දකුණෙන් උතුරටත් කිසිදු දෙයක් හුවමාරු නොවන අන්දමට සියළු සැපයීම් නතර විණි.

යුද ඉසිඹුවේදී යාපනයේ කන්කසන්තුරයට ගිය දුම්රිය දෙකකට ආපසු ඒමට නොහැකිව ඒ දුම්රියන් දෙක කන්කසන්තුරයේ හිරවුණි. දුම්රියේ ගිය සේවකයෝ ආපසු දකුණට පැමිණියේ රතු කුරුස නිලධාරීන්ගේ රැකවරණය මධ්‍යයේය.

කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ හිරවුණු මේ දුම්රිය දෙක යුද සමයේදී  අවසන් වරට උතුරු කොණටම ගිය දුම්රිය දෙක බවට ඉතිහාසගත වන්නේය.

මේ හිරවුණු දුම්රිය දෙකට එදා කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ට කරන්නට පුළුවන් සෑම දෙයක්ම කළේය. එහෙත් ඒවා තනි යකඩයෙන්ම නිර්මාණය කොට තිබූ නිසා ඒ මහා යකඩ ගොඩට ඒ සෑම දෙයක්ම ඉවසා සිටීමට හැකි වුණි.

මේ මතකය යළි සිහියට නංවමින් කතා කළේ බොහෝ කාලයක්ම වවුනියාව දුම්රිය ස්ථානයේ උප දුම්රිය ස්ථානාධිපතිවරයෙකුව සිටි තංගරාජා වඩිවේල් මහතාය.

”ඉස්සර වෙලාම වුණේ 1990 ජූනි මාසයේ මුලම යාපනයේ සිට කොළඹ බලා එමින් තිබුණු යාල් දේවී දුම්රියේ පැමිණි පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමයි.

ඔහු නිවාඩුවට සිවිල් ඇදුමින් සැරසිලා ගෙදර යන්න ගිය ගමන් තමයි වෙඩි තිබ්බේ. ඔහු මිය ගියා. මේ අවස්ථාවෙදි කවුරුවත් හිතුවේ නෑ ආය මේ යුද්ධයක් පටන් ගන්නයි හදන්නේ කියලා.

මේ සිද්ධියට පහුවදා කොළඹින් කෝච්චි එව්වා. අපි ඒවා වවුනියාවෙන් යාපනයට යැව්වා. යාපනයෙනුත් ආවා. සාමාන්‍ය විදිහට මේ ක්‍රියාව සිද්ධ වුණා. ඒත් දවස් තුනක් ගියේ නෑ එක පාරටම රණ්ඩු පටන් ගත්තා. ඒ වෙනකොට යාපනයට කෝච්චි දෙකක්ම ගිහින් තිබුණේ. කොළඹින් වවුනියාවට කතා කරලා කිව්වා කොහොම හරි කෝච්චි දෙක ගන්න බලන්න කියලා. ඒ එක්කම ඒ කෝච්චි දෙකේ ගිය සේවකයින් සියළුම දෙනා සිංහල නිසා ඒ අය ගැන හොයා බලන්නත් කිව්වා. කිසීම තොරතුරක් නෑ. ඒ දවස්වල දැන් වගේ ටෙලිෆෝන් එහෙමත් නෑනේ. කතා කරන්න පුලුවන් කොහෙ හරි ලොකු ස්ටේෂන් එකකට විතරයි. අපි යාපනේට කතා කළා. කවුරුවත් උත්තර දෙන්නේ නෑ. කන්කසන්තුරේට කතා කළා ඒත් නැහැ. අවසානෙදි අපේ යාපනයේ හිටපු ස්ටේෂන් මාස්ටර් කෙනෙක්ගේ ගෙදරට කතා කළා ඔහු හරහා තමයි පණිවුඩ එහා මෙහා කර ගත්තේ.

ඒත් කෝච්චියේ ගියපු සේවකයින් ගැන අපිට දවස් දෙකක් යනකල්ම උත්තරයක් ලැබුණේ නෑ. පස්සේ තමයි ආරංචි වුණේ එයාලා කෝච්චි දාලා හමුදාව බාරයට පත්වුණා කියලා. හමුදාව ඔවුන්ව ආරක්ෂා කරලා පස්සේ තමයි කොළඹට යවන්න කටයුතු කළේ.

සියළුම දෙනා බංකර් තැනීමට රේල් පීලි යොදා ගැනීම නිසා ඉතා ස්වල්ප කාලයකින් උතුරු දුම්රිය මාර්ගයේ රේල් පීලී සියල්ලත් සිල්පර කොටන් සියල්ලත් ගැල වී ගොස් පොත්ත රහින ලද අන්නාසි ගෙඩියක් මෙන් රේල්පාර දිස් විය. අවසානයේදී ඉතිරි වී තිබුණු කලුගල් කැබලිද බංකර් වල කොන්ක්‍රීට් තට්ටුව සදහා යොදා ගැනීම නිසා උතුරට රේල් පාරක් වෙනුවට යාන්තම් අඩිපාරක් පමණක් ඉතුරු විණි.

මහා යුද්ධය අවසන් වී ගියත්  කන්කසන්තුරේ හිරවුණු දුම්රිය දෙකටම ආපසු ඒමට නොහැකි වූයේ රේල් පාරක් තබා රේල් පීල්ලක් හෝ නොතිබුණු නිසාය.

උතුරු දුම්රිය මාර්ගයේ කනක්සන්තුරේ දක්වා යළි දුම්රියක් ධාවනය වන්නේ 2015 වර්ෂයේදීය. ඒ වන විට කන්කසන්තුරයට ගොස් අතරමංවූ දුම්රිය දෙක වසර වීසිපහක්ම එකතැන ලගිමින් දිරාපත් වෙමින් පැවතුණි. තනි යකඩ වුවත් කාලය සමග විනාශ වී යාම වැළැක්වීමට නොහැකි බව තේරුම් ගැනීමට මේ දුම්රිය දෙක කදිම නිදසුන්ය.

දුම්රිය ඉතිහාසයේ වාර්තාවක් තැබීමට මේ දුම්රිය දෙක සමත් වූවත් කාලය සමග දිරාපත් වූ මේ දුම්රිය දෙක අවසානයේදී යකඩ බවට පත් කිරීමට දුම්රිය බලධාරීන් තීරණය කොට තිබේ. මේ දිනවල කන්කසන්තුරේ දුම්රිය ස්ථානය අසලදී යකඩ යකා මස් බවට පත් වෙමින් යළි යකඩ ගොඩක් බවට පත් වෙමින් තිබේ.

”කොහොම හරි කෝච්චි දෙකකින් ඉතුරු වෙලා තියෙන්නේ පෙට්ටි දාසයක් විතරයි.ඒවත් අංග සම්පූර්ණයෙන්ම නැහැ.සමහර ඒවා කැබලි බවට පත් වෙලා.එන්ජින් වලට වුණු දෙයක් නෑ.ඒ ගැන පැතිරිලා තියන කතා ගොඩාක් තියනවා. සමහරු කියන්නේ කොටි ඒ එන්ජින් අරන් ගිහින් ඩෝසර් හැදුවා කියලයි. එන්ජිමේ ඉස්සරහා තියන කුල්ල කොටි ඩෝසර් වල ඉස්සරහා හයි කළා කියලත් කියනවා.

හසලක ගාමිණී විරුවා පැනලා විනාශ කළ  ඩෝසරේ ඉස්සරහට මේ එක කෝච්චියක කුල්ල හයිකලා කියලත් සමහරු කියනාවා.කොහොම වුණත් දැන් එන්ජින් නැහැ.

මේ කෝච්චි පෙට්ටි වලින් කිසීම ප්‍රයෝජනයක් ගන්න බැහැ. කරන්න පුලුවන් එකම දේ තමයි යකඩ වලට විකුණන එක. සිද්ධිය දුකයි තමයි. ඒත් යුද්දෙත් එක්ක දුම්රියට මීට වඩා හානි සිද්ධ වුණානේ. ඒ ගැන හිතනකොට මේවා මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක්.

වෙන් වෙන් වූ ඒ යකඩ ගොඩවල් යළි ආපසු කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් වන්නේද  තවත් යකඩ යකෙකුගේ පටවා ගෙනය. තනි යකඩෙන් හැදුණු මහා යකඩ ගොඩක් නිසා දුම්රියට ඒ බව් නොදැනෙන්නට නොතේරෙන්නට පුලුවන. එහෙත් සිත් පිත් ඇති මිනිසුන්ට මේ සිදු වූ දේ  විද දරා ගැනීමට තරමක් හෝ අපහසු විය හැකිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *