මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම සංවත්සර සැමරුම් මාලාව

මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම සංවත්සර සැමරුම් මාලාව සමාරම්භ කිරීම සඳහා ඔක්තෝම්බර් 2 වන දින වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කොට තිබිණ. ඉදිරි වසර දෙක තුළදී ගාන්ධිතුමාගේ ජීවිතය හා දර්ශනය පිළිඹිබු කෙරෙන තවත් වැඩහටහන් රැසක් සංවිධානය කෙරෙනු ඇත. වර්ෂ 1927 දී මහත්මා ගාන්ධිතුමා ශ‍්‍රී ලංකාවට සපැමිණි අතර එතුමා දිවයින පුරා සංචාරය කළේය.

මහත්මා ගාන්ධිතුමාට  උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායන ශිල්පීන් වන භාතිය, සන්තුෂ් සහ උමාරියා විසින් ගාන්ධිතුමාගේ ප‍්‍රියතම භජන් ගීතයක් වන ‘වෛෂ්ණව් ජන තො’ යන භජන් ගීතය ගායනා කරන වීඩියෝවක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිර්මාණය කර තිබූ අතර එම වීඩියෝව එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හට තෑගි කළ අතර මහ කොමසාරිස්තුමා හට ස්තූති කළ ජනාධිපතිතුමා එම සිතුවම ස්ථීර ලෙස ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කර තැබීමට අවශ්‍ය කටයුතු සලසන බව සඳහන් කළේය.

මේ අතර ගාන්ධිතුමාට උපහාරයක් ලෙස විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අතින් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.

මහත්මා ගාන්ධිතුමාගේ ලංකාගමනය පිළිබඳව ප‍්‍රවීණ මාධ්‍ය‍වේදී සම්පත් බණ්ඩාර විසින් රචිත පර්යේෂණ ග‍්‍රන්ථයක් එළිදැක්වීම ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී කථානායක කරු ජයසූරිය මැතිතුමා අතින් සිදු කෙරිණ.

ප‍්‍රවීණ වයලින් වාදක ආචාර්ය එල්. සුබ‍්‍රමනියම් සහ National Leipaja Latvian Pjilharmonic Orchestra වාදක මඬුල්ල විසින් ඉදිරිපත් කරන ලද විශේෂ සංගීත ප‍්‍රසංගයක් සන්ධ්‍යාභා‍ගයේදී නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණ.

මේ අතර කොළඹ නගර සභා ගොඩනැගිල්ල ගාන්ධිතුමගේ පින්තූර සහිත LED ආලෝකයන්ගෙන් ආලෝකමත් විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *