ඩීමෝ තාක්ෂණික කුසලතා ඇකඩමිය (DATS ) 2018 උපාධි ප්‍රදානෝත්සවය පවත්වයි

ඩීමෝ තාක්ෂණික කුසලතා පිළිබඳව වන ඇකඩමියේ (DATS) 27 වන උපාධි ප්‍රදානෝත්සවය ඩීමෝ 800 අති නවීන Mercedes-Benz මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණ. ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ ඩීමෝ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ගහනාත් පණ්ඩිතගේ සහ ඩීමෝ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමණාකාරීත්වය, දෙමව්පියන් සහ DATS හි කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

කොළඹ සහ යාපනයේ පිහිටි ඩීමෝ තාක්ෂණික කුසලතා පිළිබඳ වන ඇකඩමියේ ඔටෝමොබයිල් මෙකැට්‍රොනික්ස් තාක්ෂණය හැදෑරූ සිසුන් 26 දෙනෙකුට මෙහිදී උපාධි ප්‍රදානය කෙරිණ. ඩීමෝ තාක්ෂණික කුසලතා පිළිබඳ වන ඇකඩමියේ කොළඹ සහ යාපනයේ පිහිටි ශාඛා  තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හි සහතික ලත් ආයතන වන අතර Daimler AG විසින් හඳුන්වා දුන් ස්වයං ඉගෙනුම් සංකල්පය මත මෙම ආයතනවල පුහුණු පාඨමාලා පැවැත්වෙයි.

ජර්මානු වාණිජ මණ්ඩලය විසින් ද පසුගියදා DATS ආයතනය වෙත A ශ්‍රේණියේ ඔටෝමොබයිල් මෙකැට්‍රොනික්ස් තාක්ෂණ පුහුණු ආයතනයක් වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් පිරිනමා තිබේ.  

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා කියා සිටියේ  සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථිකය ගොඩනැංවීමේදී වෘත්තීය පුහුණුව ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරන බවයි. තරගකාරි රැකියා වෙළඳ පළට සරිලන ආකාරයට කුසලතා වර්ධනය කොට ශ්‍රී ලාංකික තාරුණ්‍යය බලගැන්වීමට ද මෙමගින් අවස්ථාව උදාවන බව හෙතෙම පැහැදිලි කළේය. ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමකින් යුතු දක්ෂ තාක්ෂණ ශිල්පීන් බිහිකිරීම මෙම ඇකඩමියේ මූලික වගකීම බව පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එම අවශ්‍යතාව ඉටුකරලීම වෙනුවෙන් DATS ආයතනය  ඇප කැපවී සිටින බවයි.

1990 වසරේදී  Daimler AG හා එක්ව ඩීමෝ විසින්  පිහිටුවන ලද DATS ආයතනය මෙරට තරුණ තරුණියන් උදෙසා උසස් තත්වයේ වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා ආරම්භ කෙරිණ. සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලව මෙරට පෞද්ගලික ආයතනයක් විසින් වැඩිම මුදලක් ආයෝජනය කර නොමිලේ පවත්වන එකම පාඨමාලාවයි. මෙහි උපාධිධාරීන්ට ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ හා සම්බන්ධවීමට අවස්ථාව උදාවෙයි.

මෙරට ඔටෝමොබයිල් මෙකැට්‍රොනික්ස් කාර්මික ශිල්පය පිළිබඳ පුහුණුව ලබාදෙන එකම ආයතනය DATS වන අතර මෙහි අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට කාර්මික, විදුලි, ඉලෙක්ට්‍රොනික, යන ක්ෂේත්‍ර පිළිබඳව වන පුහුණුව පමණක් නොව  තොරතුරු තාක්ෂණය ආදී නවීන තාක්ෂණික අංග පිලිබඳව ද හැදෑරීමට ද අවස්ථාව උදාවෙයි. වේගයෙන් වර්ධනය වන නවීන ඔටෝමොබයිල් මෙකැට්‍රොනික්ස් තාක්ෂණික ක්‍රමවේදයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත පිරිසක් බිහිකිරීමට මෙම පාඨමාලාව මගින් අවස්ථාව හිමිවෙයි.

ප්‍රවේශ විභාගයකින් පසුව සහ වෙන් වෙන් වශයෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ වලින් පසුව  මෙම පාඨමාලාව සඳහා වඩාත් සුදුසු සිසු සිසුවියන් තෝරාගනු ලබයි. වැලිවේරියේ පිහිටි උසස් තත්වයේ  අති නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත පුහුණු ඇකඩමියකදී මෙම සිසු සිසුවියන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වෙයි. ජර්මනියේ Daimler AG හා එක්ව Mercedes-Benz රථවාහන මූලික කරගනිමින් මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *