මනුෂ්‍ය ආහාරයට නුසුදුසු ආහාර තොගයක් විනාශ කරයි

යාපනයේ කාරෙයිනගර් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු විවිධ ආහාර වර්ග කිලෝ ග්‍රෑම් 3500 ක් අද (11) දහවල් අධිකරණ නියෝග මත ගිණි තබා විනාශ කරන ලදී.

යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ වෙළද සැල්වලින් මෙම ආහාර ද්‍රව්‍ය අලෙවි කොට තිබූ අතර එම ආහාර වර්ග අතර තිරිගු පිටි, කොට්ටකිලංගු, බිස්කට් මුරුක්කු වැනි ආහාර වර්ග තිබූ අතර  ඇතැම් ආහාර වර්ග වල පණු කැදලි පවා තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටියහ.

සතියක් තිස්සේ කළ පරීක්ෂා කිරීම් වලින් පසුව මෙවැනි ආහාර වර්ග අලෙවි කළ වෙළෙන්දන් 68 දෙනෙකු යාපනයේ කරෙයිනගර්  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගෙන යාපනය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත.

මේ වෙළෙන්දන්ගෙන් ඇතමෙකුට දිසා විනිසුරුවරයා විසින් දඩ මුදල් නියම කොට තිබේ. සෙසු වෙළෙන්දන්ට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නඩු  පැවරීමට පියවර ගෙන තිබේ.

මනුෂ්‍ය ආහාරයට නුසුදුසු සියළුම ආහාර මහජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන සුදුසු ස්ථානයකට රැගෙන ගොස් ගිණිතබා විනාශ කරන ලෙස විනිසුරුවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කොට තිබේ.

ඒ අනුව අධිකරණයේ නිලධාරීන්ගේ පොලීසියේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත ඒවා ගිණි තබා විනාශ කරන ලදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *