හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදයි

අඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට (06) යෙදී තිබේ.

ක්‍රිෂ්ණා දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කිරීම සඳහා පහන් දල්වා හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරනු ලබයි.

අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංඛේතවත් කරමින් මෙම පහන් දැල්වීම දීපවාලි දිනයේ විශේෂ සිදුවීමක් වෙයි.

මේ අතර දීපවාලි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ අධ්‍යාත්මික ශික්ෂණය ප්‍රඥාව බදු ගුණාංග මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාවේ අන්ධකාරය පහවිය යුතු බවයි.

පහණින් නැගෙන ආලෝකයෙන් අයහපත නැමති අඳුර දුරු වී යහපත නමැති ආලෝකය පැතිරෙන්නා සේ ස්වකීය ජීවිතය ද ආලෝකමත් වේවා යන්න දීපාවලියේ අරුත බව ජනාධිපතිවරයා පවසයි.

දශක කිහිපයක් තිස්සේ විරසකයන් විසින් හුදකලා කරනු ලැබු අනේකවිද දුක් වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා අන්යෝනන්ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපවාලි උළෙල මනා පිටිවහලක් වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

දීපවාලි උත්සවය තුළින් පිළිබිඹු වන්නේ හින්දු භක්තිකයින්ගේ අධ්‍යාත්මික ගුණ වගාවත් සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය සහ සංහිදියාව බව දීපවාලි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මෙම උත්කර්ෂවත් දිනයෙන් සංඛේතවත් වන්නේ අඳුර පරාජය කරමින් ආලෝකයත් අසත්‍ය පරාජය කරමින් සත්‍යයේත් නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කමත් ජයග්‍රහණය කිරීම බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද දීපවාලි වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. භේදබින්න වීම පහසු දෙයක් නමුත් සමගි සන්ධානයෙන්, එක්සත්ව, එක්සිත්ව යහපත උදෙසා කටයුතු කිරීම මහත් අභියෝගයක්ව පවතින බවයි එහි දැක්වෙන්නේ. සියලූ භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන්, සමගියෙන් ජීවත් වන්නට ප‍්‍රඥාවේ පහන් දල්වාගත යුතු බව හිටපු අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.

ජනතාවගේ අපේක්ෂාවන් හා අභිලාෂයන් විශාල අර්බුදයකට ලක්ව ඇති මෙම කාල වකවානුවේදී නපුරු බලවේග පරාජයට පත්වී සත්‍ය සහ සාධාරණය ඉටු වේවායි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාද ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, දීපවාලී වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *