ඇන්තූරියම් පඳුරු තොගයක් කටුනායකදී අත්අඩංගුවට

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ඇන්තූරියම් පදුරු තොගයක් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු පසුගියදා (06) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු මීගමුව, තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මල් පැළ අලෙවි කිරීමේ යෙදී සිටින ව්‍යාපාරිකයෙකි.

ඔහු පසුගියදා (06) රාත්‍රී 11.55 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිටතට යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම ව්‍යාපාරිකයා මෙම ඇන්තූරියම් පදුරු මෙරටට ගෙන්වීම සදහා ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත යුතු ආනයන බලපත්‍රය මෙන්ම, මෙම පදුරු අපනයනය කිරීමේ දී තායිලන්ත රජයෙන් නිකුත් කළ  යුතු ශාක නීරෝධායන සහතිකය ද නොමැති, මෙම පදුරු මෙසේ රැගෙන විත් තිබූ නිසා, ශ්‍රී ලංකාවේ 1999 – ශාක සංරක්ෂණ පනත යටතේ මොහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මොහු සිය ගමන් මලු වල රුපියල් ලක්ෂ 05 ක් වටිනා මෙම ඇන්තූරියම් පදුරු 470 ක් අසුරා, සගවා ගෙන සිටිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ටී.එම්.විජේකුළසූරිය මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම ඇන්තූරියම් පදුරු තොගය රාජසන්තක කර, මෙම ව්‍යාපාරිකයාට රුපියල් 5,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *