රංගන ශිල්පිනියක් වීම අහම්බයක් – කැලුම් ගම්ලත්

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

මේ දිනවල තුසිතද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘සොදුරු දඩයක්කාරයා’ ටෙලි නාට්‍යයේ ‘රෙබෙකා’ කියන චරිතයට රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඊට අමතරව  කිත්සිරි මෙවන් ජයසේනගේ ‘සුරූපිය සහ මෘගයා’ නාට්‍යයට දායක වෙමින් ඉන්නවා.

 

රංගන ශිල්පිනියක් වීම පොඩි කාලයේ දුටු සිහිනයක් සැබෑ වීමක්ද?

ඇත්තටම අහම්බයක් කිවිවොත් නිවැරදියි. මම ඉගනගත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන්. එහිදි සෞන්දර්ය විෂයන්ගෙන්  මම මුලදී නැටුම් විෂය තමයි හැදෑරුවේ. පසුව මම සාමාන්‍යපෙළ හදාරද්දී තමයි නාට්‍ය හා රංගකලාව විෂය තෝරා ගත්තේ. අපේ පාසලේ නාට්‍ය හා රංගකලාව විෂය ඉගැන්නුවේ කැටවල කියලා මිස් කෙනෙක්. ඇය රාජ්‍ය ළමා  නාට්‍ය උළෙලේ නාට්‍යක චරිතයකට මාව තෝරා ගත්තා. ඒ විදියට තමයි අහම්බයෙන් මම නාට්‍ය කලාවට පිවිසුණේ.

 

අහම්බෙන් ආපු ගමන කොතරම් දුරකට ගෙනගියාද?

මම කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ රංගකලාව හදාරමින් සිටියදී යශෝධරා සරත්චන්ද්‍ර සහ කුසුම්සිරි ලියනාරච්චිගේ ‘දගයා සහ පුංචි අන්දරේ’ නාට්‍යට සමබන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක තමා ප්‍රසිද්ධ වේදිකාවේ මගේ මුල්ම අත්දැකීම.පසුව මංගල සේනානායකගේ ‘ජුලියස් සීසර්’, ජයලත් මනෝරත්නගේ ‘හඩ නිහඩ’, හෙන්රි ජයසේනගේ හුණු වටය කතාවේ ‘ගෲෂා’ චරිතය, දයානන්ද ගුණවර්ධනගේ බක්මහ අකුණු නාට්‍යයේ ‘ළමාතැනි’ චරිතය, ‘බැංකු වීරයා’ නාට්‍යයේ ‘නිරූපනී’ ගේ චරිතය වගේ නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වෙන්න ලැබුණා.

 

වේදිකාවෙන් රංගනයට පිවිසි ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ වේදිකාවටද නැත්නම් ටෙලිනාට්‍යයටද?

වේදිකා නාට්‍ය වලට තමයි මගේ වැඩි කැමැත්තක් තියෙනනේ.  මම හිතනවා වේදිකාවේදි යම් චරිතයක අත්දැකීම සජීවීව ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්න පුළුවන් කියලා. චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙන්නත් කැමතියි. නමුත් ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් මේ මේ ටෙලිනාට්‍ය හොදයි කියලා මගේ පැහැදිළි අදහසක් නැහැ. නමුත් මෙගා ටෙලි නාට්‍ය හැර  සාධාරණයක් කළ හැකි චරිතයක් භාරගන්න කැමතියි.

 

ඔබ රගපාන්න චරිතයක් තෝරා ගනිද්දි සලකා බලන ප්‍රධාන කරුණු මොනවාද?

කැලුම් ගම්ලත් කියන චරිතයෙන් එහාට ගිය මට සාධාරණයක් කළ හැකි චරිතයක් කරන්න මම කැමතියි. මට විශේෂයෙන් කළ හැකි දෙයක් ඒ චරිතයේ තිබෙනවා නම් කැමතියි. ඒ වගේම මට දැනෙන සුවිශේෂ චරිතයක් වීමත් මම යම් චරිතයක් භාර ගැනීමේදී  සළකා බලනවා.

 

නිර්මාණ වල ඇතුළත් නිළියන්ගේ නිරුවත, ලිංගික දර්ශන අද වන විට සමාජයේ දැඩි කතා බහට ලක්වන දෙයක් ඒ වගේ චරිතයක් ලැබුණොත් ඔබ භාරගන්නවාද?

නිර්මාණයට එය අවශ්‍ය නම්, චරිතය එය ඉල්ලනවා නම් පමණක් ඒ වගේ චරිතයක් කරන්න සූදානම්. මට දැනටමත් ඒ වගේ චරිතයකට ආරාධනයක් ලැබිලා තියනවා. මේ දවස්වල ඒ චරිතය භාරගන්නවාද නැද්ද කියලා හිතමින් ඉන්නවා.

 

නවක රංගන ශිල්පිනියක් ලෙස ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය ගැන ඔබේ අදහස මොකක්ද?

ඇත්තටම මට හොද සහායක් ප්‍රවීණයන්ගෙන් ලැබෙනවා. ‘සොදුරු දඩයක්කාරයා’ ටෙලි නාට්‍යය මගේ පළමු ටෙලිනාට්‍යය. එහිදී නීටා ප්‍රනාන්දු, බුද්ධදාස විතානාරච්චි, වසන්ති චතුරානි, අංජුලා රාජපක්ෂ. ජනක කුඹුකගේ වගේ අයගෙන් ලැබෙන සහාය විශාලයි. සමහර දර්ශන වලදී මට වාර කිහිපයක් පවා උදවු කරන්න සිදු වුණත් ඔවුන් ඊට මැළි වනනේ නැහැ. ප්‍රවීණයන්ගෙන් හොද සහායක් නොලැබෙන බවට ඇතැමුන් කරන චෝදනා මමත් අහලා තිබුණත් මට නම් එහෙම දෙයක් වෙලා නැහැ.

 

පවුලේ විස්තර ගැනත් සදහනක් කළොත්.

මගේ පවුලේ ඉන්නේ අම්මා, අක්කා සහ ඇගේ සැමියා. මගේ පියා මම විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන කාලයේදීම නැති වුණා. මම විවාහකයි. රංගන කටයුතු වලට  පවුලේ අයගෙන් විශේෂයෙන්ම සැමියාගෙන් ලැබෙන සහාය විශාලයි. ඇතැම් අවස්ථාවල මගේ කාර්යබහුලත්වය නිසාම මගෙන් ඉටුවිය යුතු යුතුකම් පවා මගහරුනත් ඔහු ඒ සියල්ල උපේක්ෂාවෙන් විදගන්නවා.

 

අනාගත බලාපොරොත්තු?

තවදුරටත් ඉගනගන්න ආශාවක් තියනවා. මගේ ශ්‍රාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වනවා. ඒ අතරම නිර්මාණ වලටත් මගේ උපරිම දායකත්වය ලබාදෙනවා. හඩකැවීම් ශිල්පිනියක් වශයෙනුත් කටයුතු කරන නිසා ඒ කටයුතුත් දිගටම කරගෙන යාම මගේ අරමුණයි. දැනට මම කේරී විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව ගුරුවරියක් වශයෙන් ඉගැන්වීම් කරනවා ඒ කටයුතුත් කරගෙන කාටවත් බරක් නොවී සමාජයට හොදක් කිරීම තමා මගේ එකම අරමුණ.

 

ඔබේ රංගනට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොද ප්‍රතිචාර ලැබෙනවා. තාම නම් බැණුම් අහලා නැහැ. විශේෂයෙන් හෙන්රි ජයසේනගේ හුණු වටය කතාවේ ගෲෂා ගේ චරිතය අසීරු චරිතයක්. ඒ චරිතයට පවා මට ප්‍රෙක්ෂකයන්ගෙන් පැසසුම් ලැබෙනවා. ඒ වගේම 2014 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම කෙටි නාට්‍ය නිළියට හිමි සම්මානය ලැබුවා. එහි මම රංගනයේ නිරත වුණේ සරත් කරුණාරත්න සමගයි. නාට්‍ය අධ්‍යක්ෂණය කළේ හිමාෂි විතානයි. ඇය විශ්ව විද්‍යාලයේ අපි සමග උගත් ජ්‍යෙෂ්ඨ සිසුවියක්.

ඉරිදා සියදෙස පුවත්පතේ  ‘ලලිත’ අතිරේකයේ පළවූ ලිපියකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *