සයිටම් අර්බුදය ඉවර නම් අපි කොහෙටද? – ශිෂ්‍යාවක් ඇමැතිට ලියයි

අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල,

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා,

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය.

 

අමාත්‍යතුමනි,

 

වසරකට සිසුසිසුවියන් 150 000කට පමණ විශ්වවිද්‍යාලයට යෑමට සුදුසුකම් ලැබුණද, රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබීමට හැකිවන්නේ ඔවුන්ගෙන් 10-20 අතර ප‍්‍රතිශතයක් පමණක් යැයි ඔබ දන්නා කරුණකි.  ඉතිරි සියල්ලටම සිදුවන්නේ විකල්ප මාර්ගයක් ඔස්සේ තම උසස් අධ්‍යාපන පහසුකම් සපුරාගැනීමටය.  එනම් පෞද්ගලික විශ්වවිද්‍යාල තුළිනි.

 

කුඩා කල සිටම මට තිබුණේ එක් සිහිනයකි.  එනම් වෛද්‍යවරියක වීමටය.  අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වුවද අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පාඩම් කරන කාලයේදී මා සෑමවිටම සිතුවේ රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීමට හැකිවේද යන්නයි.  මා කොතරම් පාඩම් කළද, කොතරම් හොඳින් විභාගයට පෙනී සිටියද, මා ජීවත් වන ස්ථානය මගේ වෛද්‍ය විද්‍යාල සිහිනයට බලපාන බව මගේ සිතට නිතරම වද දුන් කරුණකි.  මෙම බිය තවත් වැඩි වන්නේ මා කොළඹ පාසලක ඉගෙනුම ලබා ඇති හෙයිනි.

 

පසුගිය කාල පරිච්ෙඡ්දයේ මගේ සිහිනය සැබෑ කරගැනීමට තවත් එක් ක‍්‍රමයක් තිබූ බව මට හැගී ගියේය.  ඒ  අප රටේ තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයි.  මේ සඳහා මුදල් වැය කිරීමට හැකියාවක් මගේ මවුපියන් හට තිබෙන බව මම විශ්වාස කළෙමි.  එහෙත් දැන් ඒ ගැන සිතීමෙන් පලක් නැත.

 

පාසල් වියේදී අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හදාරා තිබේ.  ඒ තුළින් අපගේ අයිතිවාසිකම් සුරකින අයුරු ගැනද උගත්තෙමි.  මෙම අයිතිවාසිකම් අතර ප‍්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ අධ්‍යාපනයට ඇති අයිතියයි.  එහෙත් මෙම අයිතිය උල්ලංඝනය වන්නේ අධ්‍යාපනය ප‍්‍රමිතිගත කිරීමට යොදා ගෙන ඇති . ඉසඩ් සිකෝර් ක‍්‍රමය හේතුවෙනි.  දෙමවුපියන්ගේ වාසස්ථානය හේතුවෙන් දරුවකුගේ අධ්‍යාපනයට අසාධාරණයක් වීම උපහාසයට කරුණකි.  මගේ මවුපියන් නුවරඑළිය හෝ බදුල්ල වැනි දුෂ්කර ප‍්‍රදේශයක වාසය කළේ නම් මාගේ සියලූම කැපකිරීම් සඳහා වටිනාකමක් ලැබෙනු ඇතැයි මට විටෙක සිතේ.

 

මම මාගේ උසස් පෙළ ප‍්‍රතිපල අපේක්‍ෂාවෙන් සිටින්නේ දහසක් බලාපොරොත්තු පොදි බදිමිනි.  මට වෛද්‍ය විද්‍යාලයට යෑමට වරම් අහිමි වුණොත් නැවතත් විභාගය සඳහා පෙනී සිටිය යුතුද?  එහෙත් මා විභාගයට මාගේ උපරිමය යෙදූ හෙයින් නැවතත් පෙනී සිටීමෙන් පලක් තිබේද?  නැතහොත් උත්තරපත‍්‍ර නැවත පරීක්‍ෂාව සඳහා අයදුම් කළ යුතුද?  මා වෙනත් රටක අධ්‍යාපනය සඳහා යැවීමට මාගේ දෙමවුපියන්ට හැකිවේද?  මේවාට පිළිතුරු සොයාගැනීම දුෂ්කර කාර්යයක් වුවද මාගේ අනාගතය සඳහා කෙසේ හෝ විසඳුම් සොයාගත යුතුය.

 

සයිටම් අහෝසිවන බව ඔබතුමා පැවසූ විට මට මාගේ අනාගතය පිළිබඳ දැනුණේ අවිනිශ්චිත බවකි.  එහෙත් මෙම ලාභ නොලබන ආයතනය නිසා මාගේ සිහිනයට නැවත ජීවයක් ලැබුණු ඇතැයි සිතමි.  එහෙත් අප රටේ වෛද්‍යවරු මෙයටද අකමැති නිසා නැවතත් වැඩ වර්ජන ආරම්භ කිරීමට තැත් කරන බවට මට දැනගන්නට ලැබුණි.  අපත් මේ රටේ දරුදැරියන්ය.  මේ රටේ අනෙකුත් පුරවැසියන්ට මෙන් අපටත් සමානව සලකන්නේ කවදාද?

 

කෙසේ වුවද මා රජයේ වෛද්‍ය විද්‍යාලයකට තේරීපත් වුවහොත් මට කිසියම් ගැටලූවක් ඇතිවීමට අවස්ථාවක් ඇති බැවින් මාගේ නම මෙහි හෙළි නොකරමි.

 

මීට,

තම අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවයෙන් සිටින සිසුවියක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *