රත්නපුරයේ දිය ඇලි 12ක් ‘කුඩා විදුලි බලාගාර’ හේතුවෙන් සිඳෙයි !

රත්නපුර දිස්ති‍්‍රක්කයේ කුඩා පරිමාණයේ ජලවිදුලි බලාගාර ඉදිකිරීම නිසා දියඇලි 12ක් සිදීයාමේ අවදානමකට ලක්ව තිබෙන බව රත්නපුර දිස්ත‍්‍රික් දියඇලි යොවුන් මිතුරු සංවිධානය පෙන්වා දෙයි. බෝපත්, ගොක්සින්, දූවිලි, දොඩම්, නිරිඇලි, නාපත්, කිරිඳි, වේවැල්දොළ, බබොංචි, දියවිනි, පුංචි දුන්හිඳ, පරවියන්, යන දියඇලි වේ. රත්නපුරය දිස්ත‍්‍රික්කයක් ලෙස සැලකීමේදී වැඩිම ජලවිදුලි බලාගාර සංඛ්‍යාවක් ඉදිකර ඇත්තේ ශී‍්‍රපාද අඩවියේ ජල පෝෂිත ආශි‍්‍රතවය. රත්නපුර කුරුවිට බලංගොඩ, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම ජලවිදුලි බලාගාර අතරින් වැඩිම ප‍්‍රමාණයක් ඉදිවී තිබේ. වර්ෂ 2009, 2015 යන වසරවල විදුලි බලාගාර ඉදිකිරීම්වල වැඩිවීමක් දක්නට ලැබෙන බව පාරිසරික හා ප‍්‍රජා සංවර්ධන තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.  

 

ගොක්සින් ඇල්ල සිඳීයාම පිළිබ`ද එම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අයි. ජේ. පොඩි අප්පුහාමි මහතා (අවු. 76) දක්වන්නේ මෙබදු අදහසකි.

 

‘‘බලාගාරය ඉදිවීම නිසා එදා තිබුණු සාමකාමී පරිසරය අද නැහැ. පායන කාලයට නෑමට වතුර නැති තරමට සිඳී යනවා. වැහි දිනවල වැඩිවන වතුර බලාගාරයෙන් මුදාහරිනවා. එතකොට අපි ඉන්නේ බයෙන්. 2003 ජීවිත හානි හතරක් මෙම බලාගාරය හරස්කර ඇති දොලෙන් එගොඩ මෙගොඩ වීමට ගොස් නැතිවුණා.’’

 

රත්නපුර දිස්ති‍්‍රක්කයේ 2012 සිට 2016 යන වසර පහ ඇතුළත ගංවතුර තත්ත්වයන් 7ක් පමණ වාර්තාගත වුවත්, ඉහළ ප‍්‍රදේශවල ඉදිවී ඇති ජල විදුලි බලාගාරවල බලපෑමකුත් ඒ සඳහා ඇති වී තිබෙන බව ජනතාවගේ මතය වී තිබේ. වර්ෂාව තරමක අඩු බවක් ගත වූ වසර පහ ඇතුළත රත්නපුර දිස්ති‍්‍රක්කය තුළ පෙන්නුම් කර ඇති අතර ස්ථාන රැසක පානිය ජල අර්බුදයකට ද ජනතාව මුහුණ පෑහ. ඇළ දොළ ගංගාවල ජලය සි`දී යාමෙන් විදුලි උත්පාදනය කිරීම සඳහා තරමක බලපෑමක් ද එල්ල වී තිබුණි.

 

කේ. පී. කේ. දයාවතී (අවු 52) බෝපත් ඇල්ල පිහිටි ප‍්‍රදේශයේ පැරණි ගැමි කාන්තාවකි. ඇය බෝපත් ඇල්ල අසල කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යයි. මේ ඇයගේ අදහසයි,

 

‘‘අපි පරම්පරා ගණනාවක් තිස්සේ මේ ඇල්ල එක්ක ජීවත් වුණා. ඇල්ල අසල ජනතාව නිසා මෙහෙමත් ඇල්ල ඉතුරුවෙලා තියනවා ඇති. නමුත් එදා තිබුණු සුන්දරත්වය අද නැහැ. ඇල්ල නැති වුණොත් මේ ගමම නැති වෙන්න පුළුවනි.’’

 

රත්නපුර දිස්ති‍්‍රක් දියඇලි සංවිධානය කළ පර්යේෂණයකට අනුව ලංකාවේ වැඩිම දියඇලි ප‍්‍රමාණයක් තිබෙන්නේ රත්නපුර දිස්ති‍්‍රක්කය තුළ බව අනාවරණය වෙයි.

 

දැනට රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉදි කර ඇති බලාගාර පිළිබඳ දත්තයන් කිහිපයක්

 

‘‘එරත්න මිනි හයිිඩ්‍රො පවර්’’ නමින් කළු ගෙඟ් අතු ශාඛාවක් වන කුරු ගඟ ආශ‍්‍රයෙන් පිහිටුවා ඇති විදුලි බලාගාරය දළ වශයෙන් හෙක්ටයාර් හතරක භූමි ප‍්‍රමාණයක පැතිර ඇත. අඩවිකන්ද සහ පෙලෙන්ද කන්ද යන ගම්මාන දෙක මැදිකර එය ඉදිවී තිබේ. මෙමගින් නිපදවන විදුලි බලයෙන් රත්නපුර සහ කොස්ගම යන උප බලාගාරවලට ද එක් කරනු ලබයි. විදුලි බලය නිපදවීමට උපයෝගී කර ගන්නා ජලය අතිරික්තය නැවත කුරුගඟට මුදා හැරේ.

 

‘‘විදුල් ලංකා’’ නමින් මේ වන විට කුඩා පරිමානයේ පෞද්ගලික ජල විදුලි බලාගාර දෙකක් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉදිකොට ඇත. එය පරිසරයේ ආරක්‍ෂාවට අහිතකර නොවන පරිසර හිතකාමී ව්‍යාපෘතියකි.

 

එරත්න ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ. වී. එස්. සෝමපාල මහතා (අවු:69) පවසන අන්දමට ‘‘එදා ප‍්‍රදේශයේ ඇවිද ගිය ජනතාවට අද බලාගාර ප‍්‍රදේශය තහනම් කලාපයක්. සමහරක් පැති අද කොන්කී‍්‍රට් වනාන්තර බවට පත්වෙලා.’’

 

විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහිව කුරුවිට බෝපත් ඇල්ලටත්, එරත්න ප‍්‍රදේශයේ රත්නපුර මදනගිරි ඇල්ලටත්, බලංගොඩ දූවිලි ඇල්ලටත්, නිවිතිගල නාපත් ඇල්ටත් විටින් විට උද්ඝෝෂණ 12 ක් පමණ දියත්කර ඇතත් ඒවා නොතකා විදුලි බලාගාර ඉදිකිරීමට අදාළ සමාගම් පියවර ගෙන තිබූ බව රත්නපුර දිස්ත‍්‍රික් දියඇලි සංවිධානය පෙන්වා දෙයි.

 

විදුලි බලාගාරයක් තැනීමේදී අනිවාර්යෙන්ම පරිසර ඇගයීම් වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගත යුතුය. කුමන හෝ බාධක එල්ල වුවද මධ්‍යම පරිසර අධිකාරිය, ආවට ගියාට පරිසර වාර්තා නිකුත් නොකරන බවත් ඇතැම් බලාගාර සම්බන්ධ මහජන පැමිණිලී ලැබී තිබෙන බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙකු පෙන්වා දුන්හ.

 

මෙගා වෝට් 0.5-10 යන බලාගාර රැසක් රත්නපුර දිස්ති‍්‍රක්කය තුළ ඉදිවී තිබේ. නිලධාරී හිගය නිසා මේවා අධීක්‍ෂණය කිරීමේ ක‍්‍රමවේදයේ ගැටලූ පවතියි. මෙගා වෝට් 5ට අඩු විදුලි බලාගාර සොයා බැලීමක් සිදු නොකරන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය මේ අතර පෙන්වා දෙයි.

 

රත්නපුර අතිරේක දිස්ති‍්‍රක් ලේකම් පී. ඩබ්. දයානන්ද කොළඹගේ මහතාගෙන් ද කරුණු විමසා සිටි අතර ඒ මහතා මෙසේ පවසයි.

 

‘‘බෝපත් ඇල්ල ආශි‍්‍රතව දැනට ඉදිකර ඇති බලාගාර 3ට අමතරව තවත් බලාගාරයක් ඉදිකිරීමට ගත් තීන්දුවට එරෙහිව පැනනැගුණ ප‍්‍රබල ජනතා විරෝධය නොතකා අත්තනෝමතිකව ඉදිකිරීමට යාමෙන් ඇතිවූ අර්බුදය රත්නපුර දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ කමිටුව දක්වා පැමිණියා. ඒ අනුව එය නතර කිරීමට තීරණයකර ඇතත් එය නොතකා මෙය ඉදිකිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ බලතල අනුව අවසරය ලබා දී තිබෙනවා.’’

 

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් සිදු කළ පර්යේෂයන්ට අනුව පෙන්වා දෙන්නේ ලංකාවේ දිය ඇලි හරස් කරමින් දිය ඇලි 185 ක් පමණ කුඩා ජල විදුලි බලාගාර ඉදි වී තිබි මෙගා වෝට් 350.8 ජල විදුලි නිෂ්පාදනයක් උපයා ගන්නා බවය. අනූව දශකයේ පමණ ආරම්භ කළ විදුලි බලාගාර රත්නපුර දිස්ත‍්‍රික්කයේ පමණක් තිහකට අධික සංඛ්‍යාවක් ඉදිකොට තිබෙන බව එම කේන්ද්‍රය වැඩි දුරටත් පෙන්වා දෙයි. එහි විධායක අධ්‍යක්‍ෂක පරිසරවේදී හේමන්ත විතානගේ මහතා පෙන්වා දෙන්නේ මෙබදු අදහසකි.

‘‘ගංගා, දිය ඇලි, දොළ පාරවල් හරස් කරමින් ඉදි කර ඇති මෙම ජල විදුලි බලාගාර ඉදිකිරීමේදී පරිසර අධ්‍යයනයන් සිදු කර තිබෙනවා. නමුත් කනගාටුයි කියන්න තවත් බොහෝ තැන්වල එසේ සිදු කර නැහැ.’’

 

සිරිපා පරිසර සමුළුවේ පරිසරවේදී යූ. ජී. එස්. විමලරත්න මහතා පෙන්වා දෙන්නේ ඉදිකර ඇති ජලවිදුලි බලාගාර හා ඉදිකිරීමට යෝජිත බලාගාර පිළිබද සත්‍ය තොරතුරු වගකිව යුත්තන් විසින් සන්කර ඇති බවයි. නමුත් ස්වභාධර්මය විනාශ කරමින් ජල විදුලිය නිපදවීම සාපයක් රත්නපුර දිස්ති‍්‍රක්කය තුළ ජල විදුලිය නිපදවන්නේ විශේෂයෙන් ස්වාභාවික දියඇලි සහ ජල පෝෂක සි`දීයෑමේ තර්ජනයට සාපේක්‍ෂව බවයි. ඒ නිසා අපේ දියඇලි සහ පරිසර පද්ධතිය විනාශ නොවන ආකාරයෙන් බලශක්ති නිපදවා ගැනීම ඉදිරි සියවසේ ඇති දැවැන්තම අභියෝගයයි. එයට මුහුණ දෙමින් හදුන්වා දී ඇති විකල්ප බලශක්ති ක‍්‍රමය මගින් ජාතික ආර්ථිකයට පදනම වැටී ඇති බව ඒ මහතා පවසයි. දැනට රත්නපුර දිස්ති‍්‍රක්කය තුළ විදුලි බලාගාර රාශියක් සතුව ඇත්තේ බහු ජාතික සමාගම් ආශ‍්‍රිතවයි. ලාභය පමණක් අරමුණු කරගත් ඔවුනට සිදුවන අපේ රටේ ජල දූෂණය හෝ ස්වාභාව සෞන්දර්යය ගැන හැඟීමක් නැති බව ඒ මහතා පෙන්වා දෙයි.

 

පරිසරවේදී සෝමසිරි හබරගමුව මහතා, ද අදහස් දක්වමින් මෙසේ පවසයි.

‘‘රත්නපුර දිස්ත‍්‍රික්කය තුළ දිය ඇලි ආශ‍්‍රිතව ජල විදුලි බලාගාර ඉදිකරීමෙන් පසු එම දියඇලි සිඳී යාමේ තර්ජනයට ගොදුරු වී ඇති බව ඉතා පැහැදිලිය. මෙයින් පැහැදිලි වන්නේ එම බලාගාර ඉදිකිරීමට පෙර වගකිවයුතු අංශවලින් කිසියම් පරීක්‍ෂා කිරීමක් සිදු කළේ නම්, එය පුළුල් විද්‍යාත්මක පසුබිමක් මත සිදුකර නැති බවයි. එය විදුලි බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය නෛතික බලය ලබාදීම සඳහා කළ එකක් මිස දිය ඇල්ලේ අනාගත සුරක්‍ෂිතභාව පිළිබඳව වගකිව යුත්තන් කල්පනා කළේද යන්න සැකයට තුඩුදෙන්නකි. එහෙයින් මෙම දියඇලිවලට මෙතෙක් සිදුවී ඇති හානියට ප‍්‍රතිකර්ම සොයනවාට වඩා තවදුරටත් සිදුවිය හැකි මහා ව්‍යසනය ගැන සිතා එම ජල විදුලි බලාගාරවලට දී ඇති අවසරය වහාම අවලංගු කිරීමත්, ඉදිරියේදී කිසිම දිය ඇල්ලක් ආශ‍්‍රිතව ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට අවසර නොදීමත්, කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු කළ යුතු බව මම අවධාරණයෙන් කියා සිටිනවා.’’

 

සාකච්ඡා කළේ රත්නපුර සුනිල් පියතිලක

සේයා රූ – රත්නපුර අසිත ඉන්දික වීරවර්ධන දියඇලි පර්යේෂක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *