කුසල්ගේ විසල් වික්‍රමය ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් ගෙනෙයි

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති නිදහස් කුසලාන තුන්කොන් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති පළමු තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

 

දෙරට අතර තරගය ඊයේ (06) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 174ක් ලබාගත්තේය.

 

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ශිකර දවාන් පන්දු 49ක් තුළ ලකුණු 90ක් ලබාගත් අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමෙන් දුෂ්මන්ත චමීර ලකුණු 33කට කඩුලු 2ක් බිදහෙළිය.
අනතුරුව ලකුණු 175ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 18යි පන්දු 3කින් ලකුණු 175ක් ලබාගනිමින් නියමිත ඉලක්කය පසුකරයාමට සමත්විය.

 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ කුසල් ජනිත් පෙරේරා පන්දු 37ක් තුළ ලකුණු 66ක් ලබාගත් අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

 

ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ පිටියට පිවිසි දසුන් ශානක සහ තිසර පෙරේරා තරගයේ ජයග්‍රහණය තෙක් පිටියේ රැදෙමින් පිළිවෙලින් ලකුණු 18ක් සහ ලකුණු 22ක් වශයෙන් රැස්කළ අතර තිසර පන්දු 10කින් ලබාගත් ලකුණු සංඛ්‍යාවට එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් ඇතුළත් විය.

 

තරගයේ වීරයා සම්මානය කුසල් ජනිත් පෙරේරාට හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *