ගැහැණියකගේ සහ පිරිමියෙකුගේ සම්බන්ධය කඩදාසි කොලයකට සීමා කරන්න බැහැ – දසුන් පතිරණ

කොණ්ඬේ වවපු හුරුබුහුටි, කටකාර දසුන් පතිරණ මේ දිනවල ටෙලි නාට්‍ය, චිත‍්‍රපට වගේම ගීත රූප රචනා වලටත් අලුත් මුහුණක් නෙවෙයි. ‘ඒ ලෙවල් ඉවරයි’ ටෙලිනාට්‍ය, ‘නිනෝ ලයිව්’ චිත‍්‍රපටය වගේම සංඛ දිනෙත්ගේ ‘රෝස කල්පනා’ ගීතයේ රූප රචනයත් ඔහු සම්බන්ධ වූ නිර්මාණ කිහිපයක්. වැඩි වශයෙන් දගකාර, විසේකාර තරුණයන්ගේ චරිත වලට පණ පොවන ඔහුව මෙවර ‘ලලිත‘ කතාබහකට එක්කරත්තේ රංගන දිවියේ වගේම පෞද්ගලික ජීවිතයේත් වතගොත විමසීමටයි.

දසුන් පතිරණ කියන්නේ කවුද?

සරල සාමාන්‍ය මනුස්සයෙක්

ඔබ සම්බන්ධ වූ නිර්මාණ සහ ඒවාගේ චරිත තරමක් වෙනස් ආරක් ඒවා කිව්වොත්?

වෙනස් විදියේද කියන්න දන්නේ නැහැ. මම හැමවෙලාවකම උත්සාහ කරන්නේ හොද දෙයක් කරන්නයි. හොද නිර්මාණයකට සම්බන්ධ වෙන්නයි.

නිර්මාණයක් තෝරා ගනිද්දී ඔබ සලකා බලන නිර්ණායක මොනවාද?

කොටස් සියයකට වැඩි නිර්මාණවලට නම් මම සම්බන්ධ වෙන්නේ නැහැ. වෙන හේතුවක් නිසා නොවෙයි කොටස් ගණන වැඩි නිර්මාණ වලට සම්බන්ධ වුණාම ශිල්පියෙක් එතන හිර වෙනවා කියලා මම විශ්වාස කරනවා. අවුරුද්දක් දෙකක් එකම කට්ටියක් දිහා බලාගෙන වැඩ කරනවාට වඩා එහේ මෙහේ යන්න, විවිධත්වය අත්විදින්න මම කැමතියි.

ඔබේ ප්‍රෙක්ෂිකාවකගෙන් ඔබට සිදුවූ ලොකුම කරදරය මොකද්ද?

ළමයෙක් හම්බවුණ එක තමයි වෙච්ච ලොකුම කරදරය (හිනැහෙමින්) එහෙම ඉතින් කරදරයක් කියලා නැහැ. මම නළුවෙක් වෙන්න කලින් ඉදලාම මිනිස්සු එක්ක සමාජය එක්ක ගැවසිලා හිටපු කෙනෙක්. එයාලගේ ආදරය අදහස් ඉතාම වටිනවා.

ඔබ රගපාන චරිත බොහෝ ඒවා හිතුවක්කාර රස්තියාදුකාර තරුණයන්ගේ චරිතයි. දසුන් පතිරණත් එහෙම කෙනෙක්ද?

චරිතයකට නළුවෙක් තෝරා ගනිද්දී පෙනුම බොහෝ දුරට බලපානවා. මම හිතන්නේ මගේ පෙනුම ගැලපෙන්නේ ඒ වගේ හිතුවක්කාර චරිතවලට තමයි. මොකද මම හිතන්නෙත් නැහැ මගේ පෙනුම අනුව හාමුදුරු කෙනෙකුගේ චරියක් මට කරන්න පුළුවන් කියලා. මමත් ඉස්කෝලේ යන කාලේ නම් හො`දට රස්තියාදු ගැහුවා. පසුව නම් ක්ෂේත‍්‍රයේ තමා රස්තියාදු ගැහුවේ.

රගපෑමට අමතරව දසුන් දක්ෂ මොනවාටද?

ඇත්තටම බැංකුවකට ගියාමවත් මොකද්ද කරන්නේ කියලා මට අදහසක් නැහැ. පුංචි කාලයේ ඉදලාම ආශාව තිබුණේ රංගනයටම තමයි. ඉගනගත්තේත් ඒ සම්බන්ධයෙන්ම දේවල්. ඒ නිසා මම හිතන්නේ රංගනය තමා මගේ එකම දක්ෂතාවයි.

පුංචිකාලයේ ඉදලා තිබුණ රංගන හීනය හැබෑ වුණේ කොහොමද?

පාසල් යන කාලයේ ඉදලා රංගනය ගැන ආශාවක් තිබුණට ලොකු දැනුමක් තිබුණේ නැහැ. චිත‍්‍රපට, නාට්‍ය ගොඩක් බැලූවා. මහේන්ද්‍ර පෙරේරාගේ නාට්‍ය ඇකඩමියට සම්බන්ධ වෙලා රංගනය හදාරලා ඒ මාර්ගයෙන් තමයි මගේ ගමන ආරම්භ වුණේ.

කසාද නොබැද දරුවෙක් ලැබුණ නිසා බැනුම් අහපු අවස්ථාත් ඇති නේද?

සමහර අය විවිධ චෝදනා කරනවා. නමුත් මම හිතන්නේ ගැහැණියකගේ සහ පිරිමියෙකුගේ සම්බන්ධය කඩදාසි කොලයකට සීමා කරන්න බැහැ. ඒක තමයි ස්වභාව ධර්මයේත් නීතිය. අපි හො`දින් කාලා බීලා සතුටින් ඉන්නවා.

පියෙක් වීමේ සතුට විදින්නේ කොහොමද?

පියෙක් වීම ඇත්තටම ජීවිතයේ මෙතෙක් විදපු අනෙක් දේවල් වලට සමාන කරන්න බැරි අත්දැකීමක්. මම හිතන්නේ සෑම ගැහැණියක්ම පිරිමියෙක්ම විදිය යුතුම දෙයක්. තාත්තා කියන්නේ මෙයාට කියලා අහලා තිබුණත් එහි නියම හැ`ගීම දැනෙන්නේ ඇත්තටම තාත්තා කෙනෙක් වුණාට පස්සෙයි.

ජීවිතයේ ඉටුකරගන්න බැරි වූ හීනයක් එහෙම තියනවාද?

එමෙ විශේෂ සිහිනයක් නැහැ. රංගන ශිල්පියෙක් වීම තමයි ජීවිතයේ තිබුණ ලොකුම හීනය.

ප්‍රෙමිලා ධර්මසිරී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *