මකුළු පිම්මෙන් රොබෝ නිෂ්පාදනයක්

පර්යේෂක කණ්ඩායමක් විසින් මකුළුවන් කිහිප දෙනෙකු පරීක්ෂණයකට භාජනය කර තිබේ.

ඉතා කුඩා මකුළු විශේෂයකට එක ස්ථානයක සිට ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණය මෙන් සය ගුණයක දුරක් පනින්නට හැකියාවක් ඇති බව සොයාගනු ලැබ ඇත.

ඉහත කී ‘මකුළු පිම්ම’, ස්වභාව ධර්මයෙන් ප්‍රබෝධමත් වූ නවතම ‘රොබෝ’ නිෂ්පාදනයෙහිලා උපකාරී වනු ඇති බව මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයීය පර්යේෂකයෝ පවසති.

“රාජකීය පනින මකුළුවා” නොහොත් ‘ෆිඩිපස් රිජියස්’ (Phidippus regius) ප්‍රකටව ඇත්තේ ගොදුර සඳහා නිවැරදිව ඒක එල්ලේ පැනීමේ ශක්තිය සහිත මකුළු විශේෂයක් ලෙසයි.

නමුත් සිදු කල මෙම පරීක්ෂණයේදී නිශ්චිත ඇරඹුම් පීඨිකාවේ සිට ගොඩබසින වේදිකාව දක්වා ඇති දුර, නිවැරදිව පැනීමට සමත්වූයේ ‘කිම්’ යනුවෙන් හඳුන්වනු ලැබූ මකුළුවාය.

දැළට හසු වූ සතුන් ගොදුරු කර ගැනීමට වඩා කඩිසරව දඩයමේ යෙදීම ඔවුන්ගේ ස්වභාවයයි. හිස මුදුනේ කුඩා ඇස් හතරක් ද, ඉදිරියේ විශාල ඇස් හතරක් ද සහිත ‘ෆිඩිපස් රිජියස්’ ඉතා තීයුණු පෙනීමක් සහිත ජීවියෙකි.

“ගුවන්ගතවන අවස්ථාවේ පාද මත තබන බලය, මකුළුවාගේ බර මෙන් පස්ගුණයක් පමණ විය හැකියි. මෙම සුවිශේෂී ජීව විද්‍යාත්මක තාක්ෂණය හඳුනා ගන්නට හැකියාවක් ඇත්නම්, පර්යේෂණයේ අනෙකුත් අංශ වලදී අපට එය උපයෝගී කරගන්නට හැකියාව ලැබේවි” යයි පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය නැබ්වේ (Dr Nabawy) පවසයි. ගගන විද්‍යාඥයෙක් වන ආචාර්යවරයා, නව පන්නයේ පනින – පියඹන රොබෝවරු නිර්මාණය කිරීමේ පර්යේෂණවල නිරතවන්නෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *