රථවාහන ආනයනය සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව රෙගුලාසි 02ක්

ථවාහන ආනයනය තවදුරටත් සීමාකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නව රෙගුලාසි දෙකක් පනවා තිබේ.

රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී වාහනයේ වටිනාකමට සියයට සියයකින් සමාන මුදලක් තැත්පත් කිරීම අනිවාර්ය වන අතර ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් කල්බදු ක්‍රමය යටතේ ආනයනකරුවන්ට නිකුත් නොකරන ලෙස වාණිජ බැංකුවලට උපදෙස් දී ඇත.

නව රෙගුලාසි හේතුවෙන් වාහන ආනයනය සීමා වීම හරහා විදේශීය විනිමය රටින් බැහැර විම සැලකිය යුතු අයුරින් අඩුවනු ඇතැයිද එය රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට හේත්තුවනු  ඇතැයි ද රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට පෙරද රජය කුඩා මෝටර් රථ ආනයනය සඳහා අයකරන තීරුබදු ප්‍රමාණය වැඩිකළ අතර ඒ හේතුවෙන් කුඩා වාහන ආනයනය සීමා වූ බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ත්‍රිකුණාමලය වෙරළේ සරසවි කථිකාචාර්යවරියකගේ මළ සිරුරක් හමුවෙයි

නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපයේ සේවය කරන කථිකාචාර්යවරියකගේ මළ සිරුරක්  ඊයේ (21) ත්‍රිකුණාමලය කොටුව වෙරළේ තිබී සොයා ගත්බව නිලාවේලි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වව්නියාව ආසිකුලම්  කට්කුලම් 1 පදිංචි නඩරාසා පොතනායගි (29) නැමැති නැගෙනහිර විශ්ව විද්‍යාලයේ  ව්‍යාපාර අධ්‍යනය හා ජනසන්නිවේදන පීඨයේ කථිකාචාර්යවරියයි.

මෙම කථිකාචාර්යවරියගේ අත්බෑගය හා පාවහන් යුගළ ත්‍රිකුණාමලය වෙරළේ තිබි  ඊයේ (21) උදෑසන පුද්ගලයකුට හමුවි ඇති අතර ඊට නුදුරින් රාජකාරි කළ පොලිස් ජිවිතාරක්ෂක ඒකකයට භාර දි තිබේ.

එහි තිබු හැදුනුම්පත් වලින් ඇය කථිකාචාර්යවරියක් බව හදුනාගත් ත්‍රිකුණාමලය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එස්.ලලිත් කුමාර මහතා ඒ බව විශ්ව විද්‍යාලයට දැනුම් දිමෙන් පසුව ඇය අතුරුදන් වි ඇති බවට නිලාවේලි පොලිසියට පැමිණිලි කර ඇත.

අතුරුදන් වු බවට පැමිණිලි කර පැය කිහිපයට පසුව සිරුර කොටුව වෙරළේ පාවෙමින් තිබිදි සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිලාවේලි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක  අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

 

ලෝක කුසලාන අද ගාලු මුවදොරදී ප්‍රදර්ශනය කෙරේ

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන කුසලානය කොළඹ ගාලු මුවදොරදී අද ප්‍රදර්ශනය කෙරේ.

ඒ, එම කුසලානය ලොව පුරා රැගෙන යන චාරිකාවේ එක් පියවරක් ලෙසිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, අද පස්වරු 4.00 සිට ක්‍රිකට් ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බවයි.

මේ අතර පිළිවෙලින් කෑගල්ල සහ සීගිරියේදී හෙට සහ අනිද්දා එම කුසලානය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.

 

 

අපොස ස/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ, විභාගයට පෙර

මේ වසරේ සිට ප්‍රථම වරට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙර එහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර තිබේ.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස තෙවැනි සතියේ ආරම්භ කරන බවයි.

ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී තැපැල් කරන බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින හා වේලාවන් විභාග දෙපාර්තමේන්තුවේ www.donenets.lk යන වෙබ් අඩවියේ පළකර ඇති බවයි.

 

 

මධ්‍යම පලාත් දමිළ සාහිත්‍ය උත්සවය

මධ්‍යම පලාත් දමිළ සාහිත්‍ය උත්සවය මධ්‍යම පලාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතාගේ හා ඉන්දියානු සහකාර කොමසාරිස් දිරේන්ද්‍රසිං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(22)  හැටන් හිදි උත්සවාකාරයෙන් පවත්වන ලදි.

මෙහිදි මෙම සාහිත්‍ය උත්සවය වෙනුවෙන් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ සිට හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේද්‍රය දක්වා පාසල් සිසුන්ගේ විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත සංස්කෘතික පෙරහැරක්ද පවත්වන ලදි.

මධ්‍යම පලාත් කෘෂිකර්ම,සුළු වාරිමාර්ග,සත්ව නිස්පාදන හා සංවර්ධන,ගොවිජන සංවර්ධන,මිරිදිය ධිවර,හින්දු සංස්කෘතික,ද්‍රවිඩ අධ්‍යාපන සහ වතු යටිතල පහසුකම් ඇමති එම්. රමේස්වරන් මහතාගේ උපදෙස් මත එම අමත්‍යාංශය මගින් මෙය සංවිධානය කරන ලදි.

මෙම සංස්කෘතික පෙරහැර නැරබිම සදහා මධ්‍යම පලාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක, ඉංදියානු සහකාර කොමසාරිස් දිරේන්ද්‍රසිං, යන මහත්වරුන් සමග මධ්‍යම පලාත් හිංදු සංස්කෘතික ද්‍රවිඩ අධ්‍යාපන ඇමති එම්. රමේස්වරන්, මධ්‍යම පලාත් සභා මංත්‍රිවරුන් වන ඒ.පිලිප් කුමාර්, කනපති කනගරාජ්, එස්. ශක්තිවේල්,හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් යන මහත්වරුන් සමග හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත්‍රිවරුන් කිපදෙනකුද එක්විය.

 

ශ්‍රීලනිප යේ නව සංවිධායකවරුන්ට ජනපති අතින් පත්වීම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත් කෙරුණු නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සදහා පත්කෙරුණු නව සභාපතිවරුන්  ඊයේ(21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

මේ අනුව

01 – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

02- බස්නාහිර පළාත් සභා මන්තී්‍ර හෙක්ටර් ඛෙත්මගේ මහතා  සහ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පත්වීම් ලැබීය.

03 -නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න මහතා  ගම්පහ දිස්ත්‍රික්

සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

04 – සුමිතා පි්‍රයංගනී අබේධීර මහත්මිය  මතුගම ආසනයේ මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය භාර සම සංවිධායකවරියයි.

05 – සුරංග ප්‍රෂාන් හි`දැල්ලආරච්චි මහතා  මතුගම ආසනයේ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය භාර සම සංවිධායකවරයා සහ දොඩංගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා වෙයි.

06 – අමාත්‍ය පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

07 – අමිල හර්ෂණ කාරියවසම් මහතා  ඛෙන්තර/ ඇල්පිටිය ආසනයේ

සංවිධායකවරයා ලෙස සහ ඛෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර ඇත.

08 – එන්.ඩී. සුසන්ත ලාල් ජයවීර මහතා කරන්දෙණිය ආසනයේ සංවිධායකවරයා ලෙස සහ එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය.

09 – තිසර ගුණසිංහ මහතා  හබරාදූව ආසනයේ සංවිධායකවරයා ලෙස සහ එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

10 – අතුල කුමාර රාහුබද්ධ මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස හා රත්නපුර ආසනයට අයත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය.

11 – දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් නායක, දිස්ති්‍රක් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පන්නල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

12 – වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා යාපහුව ආසන සංවිධායකවරයා ලෙස සහ එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්ව සිටි.

13 – ඒ.එච්.එම්. නාහීර් මහතා මුන්දලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය.

 

 

ඉන්දු ලංකා 3 වන පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟය අද

සංචාරක ඉන්දීය කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම අතර 3 වන පන්දුවාර 20 කි‍්‍රකට් තරගය අද පැවැත්වේ. ඒ, සී සී සී කී‍්‍රඩාංගණයේදීයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 13 කින් ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි. දෙවන තරගය විසදුමකින් තොරව නිමාවට පත් වුණු අතර දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට තරග 5 ක් ඇතුළත් වේ.

 

 

දෙමටගොඩ දුම්රිය මැදිරි දෙකක ගින්නක්

දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබු මැදිරි දෙකක් එළෙස ගිනි ගෙන ඇති බවයි.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ දෙකක් පිටත් කර යවා ඇති බවයි.

 

 

නීතිවිරෝධී ලෙස ගෙන ආ ජීවි මල් පැළැටී සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

නිසි බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු විසින්  මෙරටට ගෙන ආ ජීවී මල් පැලෑටි තොගයක් ඊයේ(21) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණය පිළිබඳ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙයින් දෙදෙනෙකු ජා – ඇල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු සහ මාතර  ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෝ වෙති. ඉතිරි අය 38 හැවිරිදි කැළණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මොවුන් තිදෙනාම මල් අලෙවි සැල් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෝ වෙති.

මොවුන් තිදෙනා ඊයේ(21) අලුයම 12.15 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් විසින් ජීව ඇන්තූරියම්, ඕකිඩ් ඇතුළු තවත් මල් පැලෑටි රාශියක් මේ ආකාරයට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ අතර , ඒවා සියල්ලේ වටිනා රුපියල් 4,89,350 ක් බව රේගුව පවසයි.

මොවුන් මෙම මල් පැලෑටි තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒම සදහා තායිලන්ත බලධාරීන්ගෙන් අවශ්‍ය පැලෑටි නීරෝධායන සහතික ලබා ගෙන නොතිබුණු අතර , එම සිදු වීම ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානයන් උල්ලංඝනය කරන්නක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

ශ්‍රී ලංකා රේගු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.