මස්කෙලි ඔයත් පිටාර ගලයි – නිවාස ජලයෙන් යටවෙයි

මස්කෙලි ඔය අද(21) උදැසන 8.00ට පමණ පිටාර ගැලීමෙන් නිවාස නමයක් ජලයෙන් යට වී ඇති බව මස්කෙලිය පොලීසිය පවසයි.

මෙම තත්නය නිසා අවතැන් වු පවුල් නමයකට අයත් සමාජිකයන් තාවකාලිකව ගවරවිල දෙමළ මහා විද්‍යාලයට යොමුකළ බව මස්කෙලිය පොලීසිය පැවසීය.

 

නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් මෙරටට ගෙන ආ පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට

නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 61 කට අධික වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ‍.

අත් අඩංගුවට ගත් එක් අයෙකු 38 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඊයේ (20) දහවල් 11.55 ට පමණ තායිලන්තයේ බැංකොක් සිට පැමිණ තිබුණි. ඔහු තම හැද සිටි කලිසමේ සාක්කුවක වූ මුදල් පසුම්බිය තුළ ග්රෑම් 200 ක බරකින් යුතු රත්තරන් කුට්ටියක් සගවා ගෙන සිටි අතර , එහි වටිනාකම රුපියල් 13,60,000 ක් බව රේගුව පවසයි.

අනෙක් ගුවන් මගීන් දෙදෙනා අද(21) අලුයම 1.55 ට සිංගප්පූරුවේ සිට පැමිණි ඇත. මෙයින් එක් අයෙකු 55 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා 52 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඔවුන්ගෙන් එක් අයෙකු තම දණහිස් වල විශේෂ ආවරණ යොදවා , ඒ තුළ මෙම රත්තරන් කැබලි සගවා ගෙන තිබූ අතර , අනෙක් පුද්ගලයා තමන් පැළද සිටි පාවහන් වල මේස් අතර මෙම රන් කැබලි සගවා ගෙන තිබූ බව රේගුව පවසයි .

ඒවායේ සගවා ගෙන තිබූ  රේගුව විසින් අත් අඩංගුවට ගත්‍ රන් කැබලි  05 හි , මුළු බර ග්රෑම් 700 ක් වූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 47,60,000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

ඒ අනුව රේගුව විසින් අත් අඩංගුවට ගත් මුළු රත්තරන් තොගයේ බර ග්රෑම් 900 ක් වන අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 61,20,000 ක් බව සුනිල් ජයරත්න මහතා පැවසීය .

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අ මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ

 

කටාර් රාජ්‍යයෙන් ලංකාවට දුම්වැටි ගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(21)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතතේ 38 හැවිරිදි  පොතුවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු තම ගමන් මල්ලේ විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 22,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 110 ක් සගවා ගෙන සිට ඇති අතර , ඒවායේ වටිනාකම රුපියල් 11,00,000 කි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත රේගු අධිකාරීවරුන් මේ පිළිබඳව වැඩිදුර  විමර්ශන පවත්වයි.

පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා

කලාඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

එළුවන්කුලම සපත්තු පාලමෙන් මේ වන විට අඩි 2 ½ ක පමණ ජලයක් ගලා යන බැවින් එම ස්ථානයෙන්  වාහන ගමන් කිරිමට නොහැකි නිසා පුත්තලමේ සිට මන්නාරම දක්වා ගමන් කරන වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කළ යුතු බව පුත්තලම ආපදා කළමණකරන ඒකකය සදහන් කරයි.

 

පැල්පත් වාසීන්ට තට්ටු නිවාස දෙනවා

පැල්පත් වාසී සියලු ජනතාව වෙත මෙම වසර අවසානයේදී තට්ටු නිවාස ලබාදීමට කටයුතු කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සංවර්ධන කටයුතු වල යම් ප්‍රමාදයක් ඇති වුවද තිරසර සංවර්ධන සැලැස්ම මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි

කුරුණෑගල රිය අනතුරින් පුද්ගලයෙකු මරුට

කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල – ගැට්ටුවාන රවුම් මාර්ගයේදී ඊයේ(20) රාත්‍රි 7.00ට පමණ පදිකයෙකු රිය අනතුරකට ලක්කර එම රථය නොනවත්වා පලා ගොස් ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබු පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 53 ක් වූ කකාටකන්ද, කුරුණෑගල ලිපිනකේ පදිංචි ඒබ්‍රහම් සුමනකසේකරලාකේ තිස්ස බණ්ඩාර වන අතර  මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පශ්චාත් මරණ පරික්ෂණ අද(21) දින සිදුකිරිමට නියමිතයි. මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

 

බුලත්කොහුපිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටී පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

මෙම සිද්ධිය ඊයේ (20) රාත්‍රි 8.00 ට පමණ සිදුව ඇති අතර මරණකරු අවුරුදු 42ක් වයසැති, 10 කණුව, උදුයගාඩ ලිපිනයේ පදිංචි වල්ගම කංකානමලායේ ඉන්දුරතන වේ. බුලත්කාහුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

 

අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඉහල ගොස් ඇත

‍පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඉහල ගොස් ඇති අතර නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය  ස්ථාන කිහිපයකින් පිටාර ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ඒ අනුව නිල්වලා ගඟ පිටබැද්දර, හා ඌරව ප්‍රදේශ වල සුළු ගංවතුර මට්ටමක් පවතින අතර අකුරැස්ස, පානදුගම පහල ජල මට්ටම මහ ගංවතුරක් දක්වා වර්ධනය වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කළු ගඟේ රත්නපුර ආශ්‍රිතව පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර කැලණි ගගේ කොළඹ, කැලණිය, කොලොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට ගංවතුර අවධානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර 150කට අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් දිස්ත්‍රික්ක 04ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හෙතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව එම ස්ථාන වලින් ඉවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

 

 

අයහපත් කාලගුණ පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීමේ බලය අදාළ බලධාරීන්ට

ආපදා සහිත ප්‍රදේශ වල පාසල් විවෘත කිරීම හෝ වසා තැබීමේ තීරණ විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දී තිබේ.