යොවුන් ඔලිම්පික් පදක්කම් ගෙනා පාරමීට සුබ ආරංචියක් ගෙන එයි

ආජන්ටිනාවේදී  පැවැති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 2000 කාන්තා බාධක දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් අලුතින් දීමට  හා ඇය දැනට ජිවත් වන නිවස අලුත්වැඩියා කර දීමට නිවාස අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී තිබේ.

අද (21) පෙරවරුවේ මේ ක්‍රීඩිකාවට දුරකථනයෙන් කතා කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ප්‍රදේශයෙන් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් හෝ ඒ අවටින් නිවසක් ලබා දීමටත් මිට අමතරව ඇය දැනට ජිවත් වන නිවස නිවාස සංවර්ධන අධිකාරිය හරහා අලුත්වැඩියා කර දීමටත් පොරොන්දු විණි.

වාරිමාර්ග ජලකලමනකරණ හා අපදා කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා  අද පෙරවරුවේම මේ පණිවිඩය රැගෙන මේ ස්ථානයට පැමිණෙන ලදී.

මේ අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිලධාරින්ද සහභාගී විණි.

මිට අමතරව ඇගේ ක්‍රීඩාවට හා අධ්‍යාපනයට අවශ්‍ය සහය ලබා දීමට අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ද පොරොන්දු විනි.

මීට අමතරව පාරමී දැනට පදිංචි හලාවත – ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුළත අළුත් වැඩියා කිරීමට කටයුතු කරන ලෙසද රාජ්‍ය ඇමතිවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

 

නවසීලන්ත රජය මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය හෙළා දකී

නවසීලන්ත රජය මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීම හෙළාදකින බව පවසයි.

එරට විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහ වෙළෙඳ හා අපනයන සංවර්ධන අමාත්‍ය ඩේවිඩ් පාකර් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම මාධ්‍යවේදියාගේ පවුලේ ඥාතීන් සහ මිතුරන් වෙත ශෝකය පල කරන බවත් එම ඝාතනයට වගකිව යුත්තන්ට අනිවාර්යයෙන්ම දඞුවම් පැමිණවිය යුතු බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී අදාළ මාධ්‍යවේදියා ඝාතනයට ලක්වු බව සෞදි අරාබිය පිළිගෙන ඇති අතර මේ වන විට එරට ජාතිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

දුම්රිය අනතුරු දෙකකින් ‍වන අලි දෙදෙනෙක් මිය යයි

දුම්රිය අනතුරු දෙකකින් ‍වන අලි දෙදෙනෙක් මිය ගොස් තවත් අලියෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (20) රාත්‍රී 12ට පමණ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රියේ වන අලීන් ‍දෙදෙනෙක් ගැටී එක් වන අලියෙකු මිය ගොස් ඇති අතර, අනෙක් වන අලියා බරපතළ තුවාල ලබා තිබේ.

අද (21) අලුයම 1 ‍පමණ කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වු මීනගයා දුම්රියේ ගැටී තවත් වන අලියෙකු මිය ගොස් තිබේ.

පළුගස්වැව ප්‍රදේශයේ දී ‍දුම්රිය පීලිපැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනිමකට ලක්වී ඇති අතර දුම්රිය ධාවනය කැකිරාවට සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

 

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අද උදෑසන 6.30 ට පමණ රදැල්ල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව පාලක මැදිරිය පවසයි.

මේ වනවිට පීලිගත කිරීම් ආරම්භ කර ඇතැයි පාලක මැදිරිය පවසා තිබේ.

මේ අතර මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.

මේ හේතුවෙන් උදෑසන 6.10 ට මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය අවලංගු කළ බව පාලක මැදිරිය සඳහන් කළේය.

මඩකලපුව මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවූයේ පලුගස්වැව සහ ගල්ඔය අතරදී වන අලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙනි.

 

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී විරෝධතාවයක

පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අද උදෑසන 7.00 ට පමණ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී විරෝධතාවයක නිරත වෙති.

CCTV කැමරා පද්ධතිය සවි කර ඇති කුළුණ මත රිමාන්ඩ් සිරකරුවන් 50 ක් පමණ රැඳී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේය.

පසුගිය සතියේ සිට බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුයුක්ත කෙරිණි.

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂා තර කර තිබේ.

 

මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම 25 වැනිදා සිට

එළඹෙන මහ කන්නය සඳහා 25 වන දා සිට ජලය නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ජල පාලන කමිටුව රැස්වී මෙම තීරණය ගත් බව එහි ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා ප්‍රකාශ කළේය.

ඔහු ගොවි ජනතාවට දැනුම් දී ඇත්තේ පවතින වැසි සමග වගා කටයුතු ආරම්භ කරන ලෙසය.

 

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම ගැන ඉන්දීය විදෙස් ඇමැතිනියගේ ප්‍රසාදය

ඉන්දු ශාන්තිකර කලාපය තුළ සාමූහික ක්‍රියාදාමයකට එක්වෙන අතරතුර ඉන්දීය සාගර කලාපීය අනන්‍යතාවක් ඇතිකරලීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

20 වන දා පෙරවරුවේ නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් ශාලාවේදී පැවති සාකච්ඡාවේ දී තවදුරටත් අවධාරණය කෙරුණේ ඉන්දීය පදනම මගින් සංවිධානය කරන ඉන්දීය සාගර සමුළුවේ කාර්යයන් තව දුරටත් පුළුල් කරලීම අතිශය වැදගත් බවයි.

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන යන සර්ව පාර්ශව වැඩ සැලැස්ම සඳහා ද ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.

ඉන්දු ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍ර සබඳතා ශක්තිමත් කරලීම හා පුළුල් කරලීම උදෙසා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා දරන වෑයම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමතිනිය සිය කෘතඥතාවය පළ කළාය. කලාපීය ගැටළු හා ප්‍රවණතා සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ප්‍රධාන වශයෙන් ඉරානයෙන් තෙල් මිලදී ගන්නා බැවින්, ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමක් සිදු වුවහොත් ගතයුතු පියවර සම්බන්ධව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා උපදෙස් ඉල්ලා සිටියේය.

ඒ සම්බන්ධව ඉන්දියානු ප්‍රතිපත්තිය ස්වරාජ් මහත්මිය පැහැදිලි කළ අතර, ශ්‍රී ලංකාවට ද ඒ අනුවම ක්‍රියා කළ හැකි බව එහිදී තහවුරු කෙරිණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අමාත්‍ය රණතුංග මහතා වෙත යොමු කිරීමට ද කටයුතු කරන බව ඉන්දීය බලධාරීහු පැවසුහ.

උතුරු නැගෙනහිර සංවර්ධන කාර්යයන් හා ඒවා කඩිනම් කරලීමේ අවකාශයන් පිළිබඳවද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, නියෝජ්‍ය මහකොමසාරිස් එම් ආර් කේ ලෙනගල, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

 

සිම්බාබ්වේ සහ බංග්ලාදේශ එක්දින පළමු තරගය අද

අද (21) ඩකාහි දී ‍සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වෙයි.

දෙරට අතර මෙතෙක් පැවති තරග 69න් 27ක ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව තිබේ.

මේ අතර සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය ගුවාහටිහි දී අද පැවැත්වෙයි.

දෙරට අතර තරගාවලිය එක්දින තරග පහකින් සමන්විතයි.

 

අග්‍රාමාත්‍යතුමා යළි දිවයිනට පැමිණෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස සිය ඉන්දීය තුන් දින සංචාරය නිමා කර ඊයේ (20) දින රාත්‍රී ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.