අදත් බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා, දැනට පවතින වැසි තත්වය අද දිනයේදීත් (21 දින) බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවලද, ඇතැම් ස්ථානවලට (විශේෂයෙන් උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල) මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ඉන්ධන මිල සූත්‍රය එළියට

අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර මහතා අද (18) ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත අනාවරණය කරනු ලැබීය.

මේ වසරේ මැයි මස 11 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රය සැකසීමේ ක්‍රම වේදය සැකසෙන ආකාරය පහත දක්වා තිබේ.

වරායේ ගොඩබාන පිරිවැය (V i) :-

බොරතෙල් බැරලයක් සදහා වියදම් වන සිංගප්පුරුවේ ප්ලැට්ස් මිල මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ.

සැකසීමේ පිරිවැය (V ii) :-

සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළද නියෝජිතගේ වට්ටම් සහ වාෂ්පවිම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුලත්ය.

පරිපාලන පිරිවැය (V iii) :-

මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද  රුපියලේ අගය අවප්‍රමාණයවීම ද ඇතුළු අනෙක් ආයතින වියදම් ද ඇතුලත් වේ.

බදු පිරිවැය (V iv) :-

මිට අයත් වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය.

 

ට්‍රැක්ටර් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් අයෙක් මරුට – 5කට තුවාල

වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී අද (18) උදෑසන ගොයම් කපන යන්ත්‍රයක් පටවාගත් ට්‍රැක්ටර රථයක ලොරි රථයක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව පුලියන්කුලම පොලීසිය පවසයි.

අනතුරින් ලොරි රථයේ ගමන්ගත් හා ට්‍රැක්ටර රථයේ ගමන්ගත් පුද්ගලයින් තුවාල ලබා ඇති අතර, ලොරි රථයේ ගමන්ගත් මරියදාස් මෝහනදාස් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවත් තුවාල ලැබූවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ ගොයම් කපන යන්ත්‍රය පටවාගත් ට්‍රැක්ටර රථය නවත්වා තිබියදී ලොරි රථය පසුපසින් පැමිණ ට්‍රැක්ටර රථයේ ගැටී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (18) සවස ඉන්දියාවේ දින දෙකක නිල සංචාරයක් සදහා නව දිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

එතුමා දූත පිරිස 15 දෙනෙකු  අද (18) සවස 2.15 ට පමණ ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

මෙම පිරිස යළිත් 20 වැනිදා ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

 

එංගලන්තයට කඩුලු 07ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ඊයේ කඩුලු 7කින් ජය ගනිමිනි.

මහනුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරඟය පන්දු වාර 21කට සීමා වුණි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 21 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 150ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 36ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 35ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී අදිල් රෂීඩ් කඩුලු 04ක් සහ ටොම් කරන් කඩුලු 03ක් බිඳ හෙලුවේය.

එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක ඉයන් මෝගන් නොදැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

 

මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි…

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (17) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති නාවල, කොළඹගේ මාවතේ පිහිටි නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

 

උඳු හා රටකජු ලබන වසරේ සිට ආනයනය තහනම්

රජය විසින් උඳු හා රටකජු ආනයනය ලබන වසරේ සිට තහනම් කිරීමට තීරණය කර තිබේ.

බඩ ඉරිඟු හා මුං ඇට ඇතුළු ධාන්‍ය වර්ග රැසක් සඳහා දැනට පවතින බදු ලබන වසරේ සිට දෙගුණ කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දේශීය ආහාර භෝග ප්‍රවර්ධනය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.

මේ අතර රට කජු හා උඳු ආනයනය සඳහා ලබන වසරේ සිට බලපත්‍ර ලබාදීම අත්හිටුවන බව ද අමාත්‍යවරයා පැවසීය.

 

හෙරොයින් තොගයක් සමග හයිබ්‍රිඩ් සුද්දා අත්අඩංගුවට

රුපියල් මිලියන 13 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හයිබ්‍රිඩ් සුද්දා හෙවත් සමීර රංසාග ගුණසේකර නමැත්තා පාදුක්ක අංගම්පිටිය නැටිඔළුව ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 100කි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මීට අමතරව රුපියල් 750000 ක මුදලක් හා මොටර් රථ දෙකක් ද සැකකරු සතුව තීබි සොයා ගත් බවය.

හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි ඔහු පාදුක්ක නැටිඔළුව ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන මෙම ජාවාරම මෙහෙයවා තිබේ.

පසුගිය මහ මැතිවරණ සමයේදී කොළඹ මහල් නිවාස සංකිර්ණයක් අසල හයිබ්‍රිඩ් මොටර් රථයකින් පැමිණ පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියේදි ආදාළ මොටර් රථය පැදවූ පුද්ගලයා මොහු වන අතර දැනට මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු බව ද පොලීසිය පැවසීය.

 

ටිපර් රථයකට යටවී කාන්තාවක් මිය යයි

ඊයේ (17) සවස පාදුක්ක – ගොඩගම මාර්ගයේ මීගොඩ පුවක්වත්ත පැල්පොලවත්ත පාර අසලදී ටිපර් රථයකට යට වීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් එම ස්ථානයේදී මියගොස් ඇති බව මීගොඩ පොලීසිය පවසයි.

මිය ගිය කාන්තාව අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ වෙළඳ සැලක සිට ප‍්‍රධාන මාර්ගයට පිවිසෙන අවස්ථාවේදී නවතා තිබූ ටිපර් රථයක් එක්වරම පන ගන්වා ඉදිරියට ධාවනය කිරීම නිසා එම ටිපර් රථය ඉදිරියෙන් යමින් සිටි කාන්තාව එම ටිපර් රථයට යට වී මියගොස් ඇති බව වාර්තා වෙයි.

අනතුරින් මිය ගිය කාන්තාව පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණවී නොමැති අතර මෘත දේහය මේ වන විට දකුණු කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (18) දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.