එජාප මැයි රැලිය සුගතදාස ක්‍රීඩාංගනයේදී

 

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය හෙට (06) උදෑසන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

 

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කළේ ඊට සමගාමිව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණ මතින් විජයග්‍රහණ කරා ගෙන යාමේ “පුනරුදයක ඇරඹුම” වැඩසටහනට යටතේ හෙට දිනයේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි.

 

ඒ අනුව පක්ෂයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ මියගිය නායකයින් සහ පාක්ෂිකයන් සිහිපත් කරමින් රටේ සමස්ත ජනතාවට සෙත්පතා (06) රාත්‍රි 9 සිට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ පසුදින හීල් දානමය පින්කමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු කර ඇති බවද මහලේකම්වරයා පැවැසීය.

 

එමෙන්ම (06) වන ඉරිදා රාත්‍රීයේ සිට (07) වැනිදා උදෑසන තෙක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආහාරපාන දන්සලක් ද සංවිධානය කර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

රංගේ බණ්ඩාරගෙන් 2019 ගැන අනාවැකියක්

 

වර්තමාන දේශපාලන වාතාවරණය ඉදිරියටත් මෙලෙසින්ම ක්‍රියාත්මක වන්නේ නම් 2019 වර්ෂයේ එජාපයටත් නැති ශ්‍රීලනිපයටත් නැති වෙනම නායකත්වයක් රට තුළ නිර්මාණය වීම වැළැක්විය නොහැක්කක් බව වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පැවැසීය.

 

අද (05) රටේ වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සියදෙස කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

 

වර්තමාන එජාප පක්ෂ අභ්‍යන්තරයේ කුමන තනතුරු නම් කලත් වැඩක් නොවන බවත් පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවද ඔහු පැවැසීය.

 

වර්ෂ 2019 අලුත් බලවේගයක් නිර්මාණය වීම වැළැක්විය හැක්කේ එජාපයට පමණක් බවත් වර්තමාන ශ්‍රීලනිපය තුනකට කැඩී තිබීම ඊට හේතුව බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

 

පක්ෂයෙන් කැපවීම් කරමින් වැඩකරන පිරිසට සහ ජයග්‍රහණය කරදුන් දිස්ත්‍රික්ක වලට පලිගැනීම් සහ නොසලකාහැරීම් සිදුවන බැවින් ඉදිරියේදී මෙම තත්වය කඩිනමින් වෙනස් නොවුණහොත් පාක්ෂිකයා ඊට දරුණු ප්‍රතිචාරයක් ලබාදීමට සුදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

ගම්මන්පිලගෙන් ආණ්ඩුවට චෝදනාවක්

 

වත්මන් ආණ්ඩුව සීමා නිර්ණයට මුවා වී ඉදිරි ජනාධිපතිවරණය තෙක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ සුදානමක පසුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවැසීය.

 

අද (05) සියදෙස කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

 

වසර 3ක් කිසිදු ගැටලුවක් නොමැතිව ඉදිරියට පැමිණි ආණ්ඩුවට පසුගිය පුංචි ඡන්දයෙන් හිමිවූ පරාජය හමුවේ අර්බුද රැසකට මුණදීමට සිදුවූ බැවින් නැවත මැතිවරණයක් පවත්වා තවදුරටත් අර්බුදයකට පත්වීමට ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ ද්විත්වය තුළම පවතින බිය හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට සුදානමක් පවතින බව මන්ත්‍රීවරයා පැවැසීය.

 

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මැතිවරණය දිනාගැනීමට හැකි උපරිමයෙන් ආණ්ඩුවට බලපෑම් කරන බවත් ඉදිරි මැතිවරණ සියල්ල විශිෂ්ඨ අයුරින් ජයග්‍රහණය කරන බව මෙහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

දිසානායක වෙනුවට පොල්ගම්පොල

 

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කර ඇත.

 

ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය ඊයේ (04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

 

අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු දැව සංස්ථා සභාපති පියදාස දිසානායක අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඉන් පුරප්පාඩු වූ තනතුර සදහා මොහු පත්කර තිබේ.

ධිවර ජනතාවට සුබදායි හෙටක් හදනවා- නව ධිවර ඇමැති-

 

ගැටලුවකින් තොරව ඉදිරියේදී කටයුතු කළ හැකි සුබදායි හෙට දවසක් ධිවර ජනතාවට උදාකරදීමට තමා කැපවන බව නව පත්වීම් ලද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා පවසයි.

 

පසුගියදා ධිවර අමාත්‍යාංශයේදී සිය නව තනතුරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

 

ධීවර ක්ෂේත්‍රය ඉතා පුළුල් ලෙස පැතිර ඇති ක්ෂේත්‍රයක් බවත් මුහුදේ ඇති අසීමිත සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව ලබාගතයුතු බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබේ.

 

මුහුද මෙන්ම මිරිදිය ධීවර කටයුතු පිළිබඳව තමන්ට මනා අවබෝධයක් ඇති බැවින් ධිවර ක්ෂේත්‍රය තමන්ට අළුත් ක්ෂේත්‍රයක් නොවන බවත් සියළුදෙනාගේ සහයෝගය ඇතිව ධීවර ක්ෂේත්‍රය දියුණු කිරීම තම අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සදහන් කළේය.

හවාලිහී ගිනකන්දක් පුපුරා හදිසි තත්ත්වයක්

හවාලි හී මවුන්ට් කිලාවූ නැමති ගිනිකන්ද පුපුරාගොස් නිවාස 1700ක් පමණ විනාශ වී ඇතැයි විදෙස් පුවත්සේවා වාර්තා කරයි.

සතියක පමණ කාලයක සිට මෙම ගිනිකන්දේ ලාවා ජනාකීර්ණ ප්‍රදේශ වෙත ගලාඑමින් තිබූ බවද වාර්තා වේ.

සිදුව ඇති ජීවිත හා දේපල හානි මෙතෙක් ගණනය කර නොමැත.

ප්‍රදේශ කිහිපයකට ඉදිරි දිනවල තද වැසි

ඉදිරි දිනවලදී කලුතර, උතුරු මැද සබරගමුව ඇතුළු ප්‍රදේශ ගණනාවකට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද පස්රුව වන විට දිවයිනේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇතිවී ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ හේතුවෙන් එම පළාත් වල තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත=ව අනතුරු අගවයි.

කිරිපිටි මිල ඉහළ යන ලකුණු

කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් අනුකමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත නිර්දේශ කර තිබේ.

ඒ අනුව ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝවක කිරිපිටි පැකට්ටුවක් රැපියල් 50ක මිලකින් වැඩි කිරීමට නිර්දේශ කර ඇත.

ටිවිටර් ගිණුම් හිමියන්ට නිවේදනයක්

ටිවිටර් ගිණුම් භාවිත කරන්නන් සිය මුරපදය හැකි ඉක්මනින් මාරු කරන ලෙස ටිවිටර් වෙබ් අඩවිය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම ජාලයේ තාක්ෂිණික දෝශයක් හේතුවෙන් තොරතුරු බාහිරට නිරාවරණය වී ඇති බැවින් මෙලෙස මුරපද වෙනස් කරන්නැයි එම ජාලය ජනතාවගෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් එම තොරතුරු මෙතෙක් අවභාවිතාවට ලක්ව නැති බවද ටිවිටර් සදහන් කරන අතරම කොපමණ පිරිසකගේ තොරතුරු මෙලෙස නිරාවරණයව ඇත්ද යන්න පිළිබද සදහනක් නොමැත.